ශ්‍රී ලංකා කාන්තා පිලට තවත් තරගාවලි ජයක්

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.

ඒ දෙරට අතර පැවැති දෙවන 20-20 තරගය ලකුණු 21කින් ජය ගනිමින්.
තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 154ක් රැස් කිරීමට සමත්වුණා.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 49ක් රැස් කළ අතර නායිකා චමරි අතපත්තු ලකුණු 42යි.

ඉමේෂා දුලානි ලකුණු 27ක් සහ නිලක්ෂිකා ද සිල්වා නොදැවී ලකුණු 22ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා.

ලකුණු 155ක ඉලක්කයක් යඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තා පිලේ මුල් කඩුලු 4 ලකුණු 84ක් තුළ බිඳ වැටුණා.

ෂාර්මින් අක්තර් නොදැවී ලකුණු 44ක් රැස් කළ අතර බංග්ලාදේශ කාන්තා පිලේ පිතිකරුවන් තිදෙනෙකුම දුවද්දී දැවී යාම කැපී පෙනුනා.

ඒ අනුව බංග්ලාදේශ කාන්තා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 133ක් පමණයි.

කවීෂා දිල්හාරි ලකුණු 15ට කඩුලු 2ක් දවා ගත් අතර ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්වුණා.

ඒ තරග 3කින් සමන්විත මෙම 20-20 තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජය ගනිමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *