ඉරාන් ඇතුළු පරිවර්තන කමිටුව වැඩ භාර ගනියි

ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රමුඛ නව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී වැඩ භාරගත්තා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම නව ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රමුඛතම අරමුණ බව එම කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
2025 වසරේ තේරී පත්වූ ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුර වලින් ඉල්ලා අස්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රමුඛ නව පරිවර්තන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ පියවර ගත්තා.

එම කමිටුවට,

සිදත් වෙත්තමුණි
රොෂාන් මහානාම
කුමාර් සංගක්කාර
ප්‍රකාෂ් ශාෆ්ටර්
තුශිර රදැල්ල
ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම
ජනාධිපති නීතීඥ ඩිනාල් ෆිලිප්ස් සහ
අවන්ති කොළඹගේ යන සාමාජිකයින් 8 දෙනා ඇතුළත්.

ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රමුඛ නව පරිවර්තන කමිටුව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී වැඩ භාරගත්තා.

මේ අතර ඉරාන් වික්‍රමරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකළ ආරාධනයකට අනුව, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නායකයින් සමග සිදුකළ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව පරිවර්තනීය කමිටුවේ සභාපති ධුරය භාරගැනීමට තීරණය කළ බවයි.

මෙම කමිටුවේ මූලික ප්‍රමුඛතාවය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම බවත්, එහි මූලික පියවර ලෙස, ක්‍රීඩාව සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ සඳහන්.

දක්ෂතාවයට මුල්තැන දෙන සහ මූල්‍ය වගකීම් සහිත සංස්කෘතියක් ඇති කිරීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි මහජන විශ්වාසය යළි ‍ගොඩනැගීම නව කමිටුවේ අරමුණ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

ජාතික කණ්ඩායම් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහයන්, ලෝක මට්ටමේ පහසුකම් සහ දිරිගැන්වීමේ ක්‍රමවේදයන් සැකසීම කෙරෙහි අවධානය යොමුකිරීමටද කටයුතු කරන බවද ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

මේ අතර ක්‍රිකට් ආයතනයේ පරිවර්තන කමිටුවේ සභාපති ලෙස පත් කෙරුණු ඉරාන් වික්‍රමරත්න මහතා සමගි ජන බලවේගයේ කළමනාකරණ සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වි තිබෙනවා.

පක්ෂය වෙත ලිපියක් යොමුකරමින් ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව දැනුම් දී ඇති අතර ඊට පිළිතුරු ලිපියක් යොමුකරමින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සදහන් කර ඇත්තේ අදාළ ඉවත්විම පිළිගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *