2වැනි 20-20 තරගයේ ජයත් එංගලන්තයට

එංගලන්තය හමුවේ අඛන්ඩව 10වන විස්සයි විස්ස තරග පරාජයත් ශ්‍රී ලංකාවට උරුම කර දෙමින් දෙරට අතර පැවති දෙවන 20 -20 තරගය එංගලන්තය ජයගත්තා.

ඒ ශ්‍රී ලංකාව දෙවන විස්සයි විස්ස තරගයේදී කඩුලු 6කින් පරාජය කරමින්.
ශ්‍රී ලංකාවට තීරණාත්මක දෙවැනි 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක හැරී බෘෘක් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයට වෙනස්කම් දෙකක් සිදුකරමින් පවන් රත්නායක සහ දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබුණේ ධනංජය ද සිල්වා සහ මහිෂ් තීක්ෂණ වෙනුවටයි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පැතුම් නිස්සංක සමඟින් කමිල් මිෂාර ඇරඹු අතර ඔවුන් දෙදෙනා එක්ව ආරම්භක කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් ගොඩනගන්නට සමත්වුණා.

පැතුම් නිස්සංක ලකුණු 34යි.

දෙවැනි කඩුල්ලටද ලකුණු 50ක සබඳතාවක් ගොඩනැගු කමිල් මිෂාර සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නා.

එම සබඳතාව බිඳවැටුණේ කමිල් මිෂාර ලකුණු 36කට දැවී යාමත් සමඟයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 32කට දැවී ගියා.

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගත් පවන් රත්නායක ලකුණු 40ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 180වේ සීමාව පසුකර යාමට සමත්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේදී ජොෆ්රා ආචර් කඩුලු 2ක් බිඳහෙලුවා.

ලකුණු 190ක ලකුණු පුවරුවක් හඹායාම සඳහා පිටියට පිවිසි එංගලන්ත පළමු කඩුල්ල ලකුණු 10දී දවා ගන්නට මතීෂ පතිරණ සමත්වුණා.

කෙසේවෙතත් එංගලන්ත ඉනිමේ 7වැනි පන්දුවාරය අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තාවකාලිකව නතර කෙරුණෙු තරගය නැවත ආරම්භ කෙරුණේ පැයකට ආසන්න කාලයකට පසුවයි.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එංගලන්තය ජයග්‍රහණය සඳහා පන්දුවාර 17කදී ලකුණු 168ක් රැස්කරගත යුතුව තිබුණා.

වර්ෂාවෙන් පසු ආරම්භ කෙරුණු තරගයේ එෂාන් මාලිංග පන්දු යැවීම ආරම්භ කළ අතර ඔහු ආබාධ තත්වයකට පත්වීම නිසා පිටියෙන් ඉවත් කෙරුණා.

මේවනවිට ඔහු එක්ස්රේ පරීක්ෂනයක් සඳහා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්ත කණ්ඩායමට හිමිවූ ඉලක්කය පන්දුවාර 16යි පන්දු 4කදී කඩුලු 4ක් පමණක් දැවී පසුකර යෑමට ඔවුන් සමත්වුනේ තරගාවලි ජයද හිමිකරගනිමින්.

ටොම් බැන්ටොන් පන්දු 33කින් ලකුණු 54ක් රැස්කළ අතර ජොස් බට්ලර් පන්දු 29කදී ලකුණු 39ක් රැස්කළා.

මතීෂ පතිරණ ලකුණු 47ට කඩුලු දෙකක් දවාගත්තා.

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදිම තරගාවලියේ ජය එංගලන්තය සතුවු අතර දෙරට අතර අවසන් විස්සයි විස්ස තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *