දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඊයේ නිමාවට පත් වූ අතර එහිදී ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ දෙවන ස්ථානය හිමිකර ගත්තා.
එම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 16ක් සමගින් දිනාගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව 40ක්.
දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ඊයේ පැවති තරග ඉසව්වලදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තා.
කාන්තා මීටර 400 කඩුලු මතින් දිවීමේ ධාවන ඉසව්වේ රන් සහ රිදී පදක්කම් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හිමිකර ගැනීම විශේෂත්වයක්.
තත්පර 58යි දශම 6යි 6කින් ඉසව්ව නිම කළ දසුනි කෞෂල්‍යා එහි රන් පදක්කම දිනාගත් අතර රිදී පදක්කම තත්පර 59යි දශම 2යි 4කින් ඉසව්ව නිම කළ අරලියා සත්සරණි හිමිකර ගත්තා.
—
පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් සහ රිදී පදක්කම් හිමිකර ගත්තේ ද ශ්‍රී ලංකාවයි.
එහිදී රුමේෂ් තරංග මීටර 84යි දශම 2යි 9ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම හිමිකර ගත්තා.
රිදී පදක්කම හිමිකර ගත්තේ මීටර 81යි දශම 6යි දෙකක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ සුමේධ රණසිංහ.
මේ අතර කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වට එක් වූ දිල්හානි ලේකම්ගේ මීටර 60 යි දශම 1යි 4ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා.
—
පිරිමි මීටර 800 ධාවන ඉසව්වට එක් වූ හර්ෂ කරුණාරත්න ද ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනාදුන්නා.
හර්ෂ, මලල ක්‍රිඩිකා තරුෂි කරුණාරත්නගේ වැඩිමහල් සොහොයුරායි.
——
මේ අතර කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම මධුශානි හේරත් දිනා ගත්තේ මීටර 6 දශම 2යි 3ක දක්ෂතාවක් දක්වමින්.
ඇය මෙම තරගාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනිමට ද සමත්වුණා.
—-
කාන්තා මීටර 10000 ධාවන ඉසව්වට එක් වූ රසාරා විජේසූරිය සුපිරි ධාවනයක නිරත වෙමින් එම ඉසව්වෙ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නා.
ඒ නව තරගාවලි වාර්තාවක් ද සමගින්.
—-
මේ අතර කාන්තා මීටර 200 ධාවන ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශෆියා යමික් එම ඉසව්ව තත්පර 23යි දශම 5යි 8කින් ඉසව්ව නිමකරමින් රන් පදක්කම හිමිකර ගත්තා.
ඇය මෙම තරගාවලියේදී දිනූ 3 වැනි රන් පදක්කම මෙයයි.
—-
පිරිමි මීටර 400 හතර සහාය ධාවන ඉසව්වේ රන් පදක්කම කාලිංග කුමාරගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනාගත්තා.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඔමෙල් සශින්ත, අයෝමාල් අකලංක, කල්හාර ඉන්දූප සහ කාලිංග කුමාරගේයි.
සිව්වන දකුණු ආසියානු මලල ක්‍රිඩා ශූරතා තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සම්මාන දිනාගත්තා.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන් මෙම තරගාවලියේදී රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් සමගින් සමස්ත පදක්කම් 40ක් හිමිකර ගනිමින් පදක්කම් සටහනේ දෙවන ස්ථානය හිමිකර ගත්තා.
සමස්ත පදක්කම් සටහනේ පළමු ස්ථානය හිමිකර ගත්තේ රන් පදක්කම් 20ක් සමගින් සමස්ත පදක්කම් 58ක් දිනූ ඉන්දියාවයි.
මෙවර තරගාවලියේ පැවති ඉසව් 36ම රන් පදක්කම් ඉන්දියා සහ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිමිකර ගත් අතර සෙසු රටවල් 4ට එකම රන් පදක්කමක්වත් ලබාගැනීමට හැකිවූයේ නැහැ.
