චීනයේ ෂාඕගුආන්හි පැවැත්වීමට නියමිතව තිබූ අවුරුදු 21න් පහළ කරාතේ ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 31කට වීසා නොතිබීම හේතුවෙන් පෙරේදා සවස ආපසු යළි හිස් අතින් සිය ගම්බිම් බලා යාමට සිදු වූහ.
මේ තරගාවලිය ආසියානු කලාපයේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් හෙට (5) සිට 7 දක්වා චීනයේ ෂාඕගුආන්හිදී පැවැත්වීමට නියමිතව ඇත.
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි මේ කණ්ඩායමට වැඩි වශයෙන් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතිශය බහුතරයක් ඇතුළත් වී සිටි අතර, ඔවුන් චීනය බලා පිටත්ව යාමට සහ ආපසු පැමිණිමට ගුවන් යානා ප්‍රවේශ පත්‍ර, චීනයේ නවාතැන් පහසුකම් සලසා ගැනීම සඳහා හෝටල් ගාස්තු සහ එරටදී ප්‍රවාහන වියදම් සඳහා එක් අයකු රුපියල් පන් ලක්ෂ අසූ දහසක පමණ මුදලක් වැය කර තිබිණි. මෙහි සම්පූර්ණ මුදල රුපියල් ලක්ෂ 180ක් පමණ වනු ඇතැයි පැවසේ.
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය විසින් ශ්‍රී ලංකාව පුරා, එම සම්මේලනයට අදාළ අනුබද්ධිත ශාඛාවලින් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 31ක් මාස එකහමාරක කාලයක් පුහුණු කිරීමෙන් අනතුරුව මේ තරගාවලියට සූදානම් කොට තිබිණි.
මේ ක්‍රීඩක පිරිසට ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා දී පෙරේදා දින පස්වරු 2ට චීනය බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ලෙස කරාතේ දෝ සංගමය දැනුම් දී තිබිණි. ඒ අනුව මේ ක්‍රීඩක පිරිස චීනය බලා පිටත්ව යෑමට අදාළ ගුවන් යානය පිටත්වීමට පැය 3කට පෙර එනම්, දහවල් 11ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටිය ද, මොවුන්ට අවශ්‍ය වීසා රැගෙන එම සංගමයේ නිලධාරීන් කිසිවකුත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ නොතිබිණි.
එනිසා එම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පස්වරු 3 පමණ වනතෙක් ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පිටත රැඳී සිට, ආපසු හිස් අතින් දහස් ගණනක මුදල් ගෙවා ගනිමින් තම ගම්බිම් බලා පිටත්ව ගියහ. එහිදී මේ පිළිබඳ අදහස් දැක්වූ බොහෝ තරුණ ක්‍රීඩකයෝ තම මවුපියන් වතුපිටි උකස් කර, ණයට ලබාගත් මුදල්වලින් මේ තරගාවලිය සඳහා චීනය වෙත යැවීමට අවශ්‍ය මුදල් සපයා ගත් බව අනාවරණය කළහ.
