ඩිල්ෂාන් මධුසංඛ කඩුලු ත්‍රිත්වයකින් ශ්‍රී ලංකාව දිනවයි

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා පිල අද සමත්වුණා.

මෙම තරගයේ අවසන් පන්දුවාරයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් ඩිල්ෂාන් මධුෂංඛ ශ්‍රී ලංකා පිලට ජය මාවත විවර කළා.
හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය සිම්බාබ්වේ නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 9කට සීමා වුණේ නිෂාන් මදුෂ්ක ලකුණු නොලබා දැවී යාමත් සමගයි.

අනතුරුව පැතුම් නිස්සංක සමගින් පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැගුවා.

පැතුම් නිස්සංක ලකුණු 76ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 38ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 35ක් රැස් කළා.

සිම්බාබ්වේ පන්දුයවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ කමිඳු මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ 6 වැනි කඩුල්ලට පන්දු 87කින් ලකුණු 137ක සබඳතාවක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 300 සීමාව ආසන්නය රැගෙන යමින්.

කමිඳු මෙන්ඩිස් ලකුණු 57ක් රැස් කළ අතර ජනිත් ලියනගේ නොදැවී ලකුණු 70ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50දී කඩුලු 6 ක්දැවී ලකුණු 298ක් රැස් කළේ සිම්බාබවේ පිලට ලකුණූ 299ක ඉලක්කයක් ලබා දෙමින්.

ජනිත් ලියනගේ සහ කමිඳු මෙන්ඩිස් අවසන් පන්දුවාර 10දී ලකුණු 113ක් රැස් කිරීම කැපී පෙනුනා.

ලකුණු 299ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ පිලේ මුල් කඩුලු දෙක පළමු පන්දුවාරයේදිම දවා ගැනීම අසිත ප්‍රනාන්දු සමත්වුණා.

කෙසේ වෙතත් බෙන් කරන් සහ නායක ෂෝන් විලියම්ස් 3වැනි කඩුල්ලට ලකුණු 118ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිලට පීඩනයක් එල්ල කළා.

ෂොන් විලියම්ස් ලකුණු 57කට දවා ගනිමින් කමිඳු මෙන්ඩිස් එම සබඳතාව බිඳ දැමීමට සමත්වුණා.

අනතුරුව ශ්‍රී ලංකා පිල තවත් කඩුලු දෙකක් දවා ගත්තද සිකන්දර් රාසා සහ ටෝනි මුනියොන්ගා 6 වැනි කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනගනමින් සිම්බාබ්වේ පිල ජයග්‍රහණ කරා රැගෙන යාමට දැඩි උත්සහක නිරත වුණා.

අවසන් පන්දුවාරයේදී සිම්බාබ්වේ පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 10ක් අවශව තිබුණා.

අවසන් පන්දුවාරයේදී පළමු පන්දුවේදී ශ්‍රී ලංකා පිලට හිසරදයක් වූ සිකන්දරා රාසා 92ක් ලබා සිටියදී දවා ගත් ඩිල්ෂාන් මධුසංඛ ශ්‍රී ලංකා පිලට ජයග්‍රාහී බලාපොරොත්තුවක් එක් කළා.

ඉන් නොනැවතුණු ඩිල්ෂාන් තවත් කඩුලු දෙකක් පිට පිට දවා ගනිමින් මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේ ශ්‍රී ලංකා පිලට ජය මාවත විවර කර දෙමින්.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට නියමිත පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 291ක් පමණයි.

තරගය ලකුණු 7කින් ජයගත් ශ්‍රී ලංකා පිල තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *