ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩක මොහොමඩ් තිල්හාම් හට අමෙරිකානු ඩොලර් 2000ක දඩයක් පැනවීමට ආසියානු පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබෙනවා.
ඒ කොළඹ පැවති ජාත්‍යන්තර තරගයකදී පලස්තීනයට සහාය දක්වමින් පණිවුඩයක් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්.
2027 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවන තරගය චින තායිපේ කණ්ඩායමට එරෙහිව ජුනි 10 වැනිදා පැවැත්වුණේ කොළඹ තුරඟ තරග පිටිය්දීයි.
ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් රැසක් ඉදිරියේ පැවති මෙම තරගය ගෝල 3ට 1ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා පිල ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තුන්වැනි වටයේ සිය පළමු ජය වාර්තා කළා.
එවක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි තැන පසු වූ ශ්‍රී ලංකාව මෙලෙස පරාජය කළේ එම සටහනේ 172 වැනි ස්ථානයේ පසු වූ චීන තායිපේ කණ්ඩායමයි.
එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම ජයග්‍රහණය මෙලෙස සැමරූ අතර එහිදී සමූහ ඡායාරූපය ගන්නා අතරතුර පලස්තීනයට සහාය දක්වමින් ශ්‍රි ලංකා පාපන්දු ක්‍රීඩක මොහොමඩ් තිල්හාම් පණිවුඩයක් ප්‍රදර්ශනය කළා.
එහිදි දැක් වුණේ “පලස්තීනයට නිදහස පතා යාඥා කරන්න” යන්නයි.
මෙය ජාත්‍යන්තර පාපන්දු නීති උල්ලංගණයක් වීම බැවින් ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩක මොහොමඩ් තිල්හාම්ට එරෙහිව විනය පියවර ගැනීම සඳහා ආසියානු පාපන්දු සම්මේලනයේ අවධානය යොමු වුණා.
මේ සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මැදිහත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩක මොහොමඩ් තිල්හාම් හට අඩු දඩ මුදලක් නියම කිරීමට ආසියානු පාපන්දු සම්මේලනය පියවර ගත්තා.
ඒ අනුව ඔහුට අමෙරිකානු ඩොලර් දෙදහසක දඩ මුදල් ආසියානු පාපන්දු සම්මේලනය විසින් නියම කළා.
එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 6කට අධිකයි.
මෙම දඩ මුදල ගෙවීමට ආසියානු පාපන්දු සම්මේලනය සති දෙකක කාලයක් ලබා දී තිබෙනවා.
