භාරත පුතුන් හමුවේ සුද්දන්ට ලකුණු 6ක තියුණු පරාජයක්

එංගලන්තය සමග පැවති පස්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.

ඒ අනුව තරග 5කින් සමන්විත මෙම තරගාවලිය නිමා වුණේ 2ට දෙකක් ලෙස ජය පරාජයෙන් තොරවයි.
ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 224ක් රැස් කිරීමට සමත්වුණා.

එහිදී කරුනු නෙයාර් ලකුණු 57ක් රැස් කළා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිල එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 247ක්.

ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිමට ලකුණු 396ක් රැස් කළ අතර ඒ අනුව පස්වැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් එංගලන්ත පිලට ලකුණු 374ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායම සිවුවැනි දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 339ක් ලබා ජයග්‍රහණ පෙනෙන මානයේ පසු වුණා.

එංගලන්ත දෙවන ඉනිම ඔසවා තැබූ හැරී බෘෘක් ලකුණු 111ක් රැස් කළ අතර ජෝ රූට් ලකුණු 105ක් රැස් කළා.

ජෝ රූට් මෙලෙස වාර්තා කළේ සිය මව් රටේදී වාර්තා කළ 24 වැනි ටෙස්ට් ශතකයයි.

ඒ අනුව රූට් වාර්තා අතරට එක් වුණේ මව් රටේදී වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවා ලෙසයි.

මීට පෙර රිකී පොන්ටින්, මහේල ජයවර්ධන සහ ජැක් කලිස් සිය මව් රටේදී ටෙස්ට් ශතක 23 බැගින් වාර්තා කරමින් මෙම වාර්තාවට හිමිකම් කීවා.

අවසන් දිනය ආරම්භ කරන විට එංගලන්ත පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 35ක් අවශ්‍යව තිබූ අතර ඔවුන් අතැතිව තිබුණේ කඩුලු 4ක් පමණයි.

අවසන් දිනයේදී එංගලන්තයට දැඩි පීඩනයක් එල්ල කළ ඉන්දීය පන්දුයවන්නන් ලකුණු 10ක් තුළ තවත් කඩුලු 3ක් දවා ගනිමින් එංගලන්ත පිලේ බලාපොරොත්තු බිඳ දැමුවා.

ඒ වන විට එංගලන්තයට ජයග්‍රහණය සඳහ ලකුණු 17ක් අවශ්‍යව තිබූ අතර අතැතිව තිබුණේ එක් කඩුල්ලක් පමණයි.

මෙම තරගයේදී උරහිසේ ආබාධයකට ලක්ව වූ ක්‍රිස් වෝක්ස් ආබාධය පසෙකලා එක් අතකින් පිත්ත රැගෙන පිටියට පැමිණියේ කෙලෙස හෝ සිය කණ්ඩායම ජයග්‍රහණය කරවීමේ අරමුණින්.

ක්‍රිස් වෝක්ස්ව ආරක්ෂා කරමින් සහ ඔහුට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා නොදෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ගස් ඇට්කින්සන් දැඩි උත්සහායක නිරත වුණා.

කෙසේ වෙතත් අවසන් කඩුල්ල ලෙස ලෙස ගස් ඇට්කින්සන් ලකුණු 17කට දැවී යාමත් සමග එංගලන්ත පිලේ බලාපොරොත්තු බිඳවැටුණේ ඉන්දියාවට ලකුණු 6ක තියුණු ජයක් හිමිකර දෙමින්.

එංගලන්ත දෙවන ඉනිම සුනු විසුනු කළ මොහාමඩ් සිරාජ් ලකුණු 104කට කඩුලු 5ක් දවා ගනිමින් ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා බවට පත්වුණා.

ඒ අනුව තරග 5කින් සමන්විත මෙම තරගාවලිය නිමා වුණේ 2ට 2ක් ලෙස ජය පරාජයෙන් තොරවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *