2025-2027 අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 78ක ජයක් හිමිකර ගනිමින්.
කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා ලකුණු 247ක් රැස්කර ගත්තා.
පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල ලකුණු 458ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේ බංග්ලාදේශ පළමු ඉනිමට ලකුණු 211ක් ඉදිරියෙන් සිටිමින්.
ශ්‍රී ලංකා පළමු ඉනිම ඔසවා තැබූ පැතුම් නිස්සංක ලකුණු 158ක් රැස්කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 93ක් රැස්කළා.
ඉනිමක පරාජයෙන් බේරිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ පිලේ මුල් කඩුලු 6 ලකුණු 115ක් තුළ දවා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් බංග්ලාදේශය පරාජයක් ආසන්නට ඇද දැමුවා.
ඒ අනුව සිව්වන දිනය අද ආරම්භ කරන බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් බේරීමට තවත් ලකුණු 96ක් රැස්කළ යුතුව තිබුණේ කඩුලු 4ක් පමණක් අතැතිවයි.
සිව්වන දිනයට තරගය ආරම්භ වී මිනිත්තු 15ක් යාමට මත්තෙන් ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය නැවතත් සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වෙමින් බංග්ලාදේශ පිලේ 7, 8 සහ 9වැනි කඩුල්ල දවාගත්තා.
බංග්ලාදේශ දෙවන ඉනිම සුනුවිසුනු කළ ප්‍රභාත් ලකුණු 56ට කඩුලු 5ක් දවාගත්තේ ටෙස්ට් කඩුලු 5ක් දවාගත් 12 වැනි අවස්ථාව සනිටුහන් කරමින්.
බංග්ලාදේශ පිලේ අවසන් කඩුල්ල දවාගත් තරිඳු රත්නායක ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කළා.
ඒ අනුව බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 133කට සීමා වූයේ ශ්‍රී ලංකාවට දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 78ක ජයක් හිමිකර දෙමින්.
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශය ටෙස්ට් තරගයක් ඉනිමකින් පරාජය වූ 9 වැනි අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාව වැඩිවාර ගණනක් ඉනිමකින් පරාජය කළ කණ්ඩායම වන්නේ ද බංග්ලාදේශයයි.
අද පරාජයෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් නායක නජ්මුල් හුසේන් සැන්ටෝ සිය ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ද තීරණය කළා.
තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත්තේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ලකුණු 158ක් රැස්කළ පැතුම් නිස්සංක.
තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 1ට බින්දුවක් ලෙස ජයගත් ශ්‍රී ලංකාව ජය සැමරූ අයුරුයි මේ.
