තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා එල්ල වූ නෙට්බෝල් ක්‍රීඩිකා සෙමිණි අල්විස්ට වසර 4ක ක්‍රීඩා තහනමක් පැනවීමට ජාතික විනය කමිටුව පියවර ගෙන තිබෙනවා.
මෙම තහනම පිළිබඳ නිවේදනය ක්‍රීඩිකාවට හා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය ඇතුළු පාර්ශ්ව වෙත මේ වන විට නිල වශයෙන් දැනුම්දී ඇත්තේ.
ඒ අනුව නෙට්බෝල් ක්‍රීඩා කිරීම හා නෙට්බෝල් ක්‍රීඩාව ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් මෙම වසර 4ක කාලය තුළ ඇයට තහනම් වනවා.
ශ්‍රී ලංකා නෙට්බෝල් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩිකාවකට තහනම් උත්තේජක වරද මත දඬුවමක් පැනවූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වීම විශේෂත්වයක්.
ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ඉලක්කකොට පුහුණුවීම්වල නිරතව සිටියදී පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය මඟින් සිදුකළ පරීක්ෂණයකදී නෙට්බෝල් ක්‍රීඩිකාව තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වී ඇතැයි වෛද්‍ය වාර්තාවක සඳහන් වුණි. එම වෛද්‍ය වාර්තාව අනුව සෙමිණි අල්විස්ගේ ‘ඒ‘ මූත්‍රා සාම්පලයේ ඇනබොලික් ස්ටොරයිඩ් නම් වූ තහනම් උත්තේජකය තිබූ බවත්, එය මාංශ පේශීන් වර්ධනයට ඉවහල්වන තහනම් සංඝටකයක් බවත් හඳුනාගෙන ඇත.
එහෙත් ක්‍රීඩිකාව පැවැසූවේ තමන් අසනීපයකට ගත් බෙහෙතකින් නරක ප්‍රතිඵලයක් ඇත් දැයි සැක මතු කරන බවය. ඇය ලබාගත් බෙහෙත් සියල්ල පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කොට නිදහසට කරුණු පැවැසූවාය. එම නිදහසට කරුණු විමසීම ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේදී සිදුවූ අතර, එහිදී ඇය ‘බී‘ සාම්පල පරික්ෂණය අවශ්‍ය නොවන බව ප්‍රකාශ කිරීමෙන් පසු දඬුවම තීරණය කෙරුණි. 2004 වසරේ ජාතික කනිෂ්ඨ නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වූ සෙමිණි 2011 සිට ජාතික නෙට්බෝල් පිලේ ගෝල් ඇටෑක් (GA) හා වින් ඇටෑක් (WA) ක්‍රීඩිකාව ලෙස කණ්ඩායමට විශාල දායකත්වයක් ලබා දුන්නාය. ආසියානු නෙට්බෝල් කිරුළ හිමිකරගත් කණ්ඩායමේ සාමාජිකාවක් වූ ඇය 2015 ලෝක ශූරතා නෙට්බෝල් තරගාවලියට ගිය ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ නායිකාව ලෙස කටයුතු කළාය.
ඇයගේ මව දීප්ති ද අල්විස් මහත්මිය ශ්‍රී ලංකා පිල නියෝජනය දක්ෂ ක්‍රීඩිකාවක් මෙන්ම ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට මුල්වූ ප්‍රමුඛ පෙළේ පුහුණුකාරිණියකි.
