පාපැදි සංගමයේ රෝද ගැලවෙයි

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ඉදිරි නිලවරණයෙන් ඉවත් කර ඇති දිස්ත්‍රික් සංගම් ක්‍රීඩා සමාජ කිහිපයක් වෙනුවෙන් පාපැදි තරග අනුග්‍රාහක සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සිදුවන කල්ලිවාදි ක්‍රියාව ගැන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඊයේ පැමිණිලි කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණියා.

පාපැදි ක්‍රීඩාව රැකීමේ එකමුතුවේ පිරිසක් ද ඊට එක්ව සිටි අතර සාධාරණ හේතුවක් නොමැතිව නිලවරණයට තරග කිරීමට ඇති අයිතිය අහිමි කර ඇතැයි එම පැමිණිලිකාර පිරිස සඳහන් කළා.

අමාත්‍යාංශය ඉදිරිපිට පොලිස් භට පිරිස් ද රඳවා තිබූ අතර ක්‍රීඩා අමාත්‍යතුමා සාධනීය පියවරක් ගන්නා බවට සැලකිරීම නිසා ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාව ද කල් දැමූ බව එහි සිටි ක්‍රියාකාරීහු සඳහන් කළා.

ඒ අනුව නිලවරණ කමිටුව සමග ඊයේ සවස 3.30ට සාකච්ඡාවකට නියෝජිතයන් ගියත් අන්තිමේ නිලවරණ කමිටුවේ සිටි ඇතැම් නිලධාරීන් තමන්ට ව්‍යවස්ථාපිත පත්වීම් දී නැති නිසා බලතල නැති බවත් ඒ ගැන කටයුතු කළ යුත්තේ එහි සභාපති බව කියමින් ප්‍රශ්නය කර ඇර ගිය බව නියෝජිතයකු පැවසුවා.

හිතාමතාම නිලවරණය තුළ කල්ලිවාදය දිනවීමම නින්දිත ප්‍රයත්නයක් දියත් වන බව නියෝජිතයෝ සඳහන් කළහ. මේ නිසා ඊයේත් එම අර්බුදයට විසඳුමක් නොලැබුණු බව කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ උප සභාපති නිමල් බුලත්සිංහල මාධ්‍ය හමුවේ සඳහන් කළා.

මේ නිසා ඔවුන් අන්තිමේ කුරුඳුවත්ත පොලිසියට ද පැමිණිල්ලක් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *