රටවල් 8ක සහභාගිත්වයෙන් මේ 19 දා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන විස්සයි20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා කටයුතු කරනවා.
ක්‍රිකට් ආයතන විධායක කමිටුව සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලය එක්ව වික්‍රමරත්න මහතා මේ තනතුරට පත් කිරීමටයි පියවර ගෙන ඇත්‍තේ.
“ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉතා සාර්ථකව පැවැත්වීමට සියල්ල සූදානම් අතර මේ තරගාවලිය ක්‍රීඩාවට හා රටේ ආර්ථිකය යන අංශ දෙකටම හොඳ අවස්ථාවක්. අපේ කාන්තා ක්‍රිකට් දැන් හොඳ තත්ත්වයක තියෙනවා. ඒ නිසා කුසලානය දිනා ගැනීමට අපේ කණ්ඩායම හොඳ උත්සහයක් දරනවා. ඒ වගේම විදේශ විනිමය මේ තුළින් රටට එනවා. සංචාරක ව්‍යාපාරයටත් මේ තරගාවලිය වැදගත්” බව රවීන් වික්‍රමරත්න මහතා පැවසුවා.
සියලු තරග ජාත්‍යන්තර රූපවාහිනී විකාශන වේදිකා හරහා සජීව විකාශය කෙරෙන අතර, තරගාවලිය නැරඹීම සඳහා මහජනතාවට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව සලසා ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර, සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්ත ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිනවා.
මේ මස 28 වැනිදා මේ තරගාවලියේ අවසන් මහා තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක ධාරා මැද පැවැත්වෙනවා.
