ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි අදියර මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මෙවර 20-20 ලෝක කුසලානයේදී දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය නිසා මෙවර LPL තරගාවලියට බොහෝ දෙනෙකු නෝක්කාඩු කියූ අතර බොහෝදෙනෙකු මෙවර තරගාවලිය ලොන්ත ප්‍රිමියර් ලීග් ලෙසට හන්වඩු ගැසුවා.
කොහොම නමුත් බොහෝ දෙනෙකු මෙවර ප්‍රතික්ෂේප කළ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ සෑම තරගයකම කණ්ඩායම් දෙකෙම ලකුණු 200 සීමාව ආසන්නව ලකුණු රැස් කිරීම නිසාවෙන්.
මෙම තරග උණුසුම මැද ලොන්ත ප්‍රිමියර් ලිග් ලෙස හන්වඩු ගැසූ බොහෝ දෙනෙකු මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග නරඹන්න යූ ටියුබ් ලින්ක් සොයා අසරණ වූ අවස්ථාද එමටය.
LPL තරග උණුසුම එලෙස ක්‍රියාත්මක වෙද්දී ක්‍රිකට් බලය ඇල්ලීමට වෙර දරන තවත් පිරිසක් සමාජ මාධ්‍ය වෙත මුදල් විසි කරමින් තරගාවලිය දියාරු කිරීමට ගත් උත්සාහයන් පිළිබදව දැන් දැන් කරළියට පැමිණෙමින් තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට මෙරට සාර්ථකම ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙස මේ වනවිට ඉතිහාසගතව අවසන්.
19න් පහළ ක්‍රීඩකයින්ට මෙන්ම දක්ෂතා ඇති ක්‍රීඩකයින්ට සිය දස්කම් ලොවට පෙන්වන්න LPL මගින් අවස්ථාව ලබාදී ඇති අතර ජනිත් ලියනගේ සහ නුවන් තුෂාර එලෙස LPL තරගාවලියෙන් ජාතික කණ්ඩායමට එක් වූ දක්ෂ ක්‍රීඩකයින් ලෙස උදාහරණයක් ලෙස සදහන් කළ හැකියි.
පල්ලේකැලේ සහ දඹුල්ල වැනි ප්‍රදේශවල තරග පවත්වමින් ගමේ සිටින ප්‍රේක්ෂකයින්ට ජාත්‍යන්තර තරග අත්දැකීමක් LPL හරහා සියසැයින් දැක ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අවස්ථාව ලබාදී තිබීමද පැසසිය යුතුයි.
2012 වසරේදී ශ්‍රී ලංකා පිල 20-20 ලෝක කුසලානය දිනා ගැනීමෙන් මාස 4කට පමණ පසු එම ජයග්‍රහණයේ උණුසුම මැද ආරම්භ කළ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (SLPL) එවක ක්‍රිකට් පරිපානයට අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වීම ගැනද බොහෝ දෙනා දන්නා කරුණක්.
එම කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉහළම තලයක පැවති අතර එවක පරිපාලකයින් එය මනාව කළමනාකරණ කිරීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භක අවස්ථාවේදීම නැවතුණි.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක ගෙවීම්ද නිසි ආයුරින් සිදු නොවන බවට විදෙස් ක්‍රීඩකයින්ද ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ එවක පරිපාලනයට දැඩි දෝෂා රෝපණයක් එල්ල කළ අතර ඒ අනුව යළිත් එවැනි තරගාවලියක් ආරම්භ කිරීමට එවක පරිපාලකයින් මැලිකමක් දැක්වීය.
සැබවින්ම ක්‍රීඩකයින්ට මුදල් හරිහැටි ගෙවිමට නොහැකි වූ මෙම තරගාවලියේ (SLPL) ආකර්ෂණය අවම මට්ටමක තිබූ අතර එදා සමාජ මාධ්‍ය තිබුණේ නම් ලොන්ත ප්‍රිමියර් ලිග් ලෙස ඉතිහාස ගත වන්නේ එවක පරිපාලකයින් සංවිධාන කළ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් නොවේද ?
ඉන් වසර 8කට පසු 2020 වසරේදී වත්මන් ක්‍රිකට් පරිපාලකයින් ආරම්භ කළ ලංකා ප්‍රිමියර් ලීග් මේ වන විට 5 වැනි අදියර කරා පැමිණ ඇත.
කොරොනා වසංගත සමයේ ආරම්භ කළ LPL තරගාවලිය එදා මෙරට ක්‍රීඩාලෝලීන් ආදරයෙන් වැළඳ ගත්තේ මරු කතරට වැටුණු දිය පොදක් මෙන්.
වසරින් වසර සාර්ථකව පවත්වාගෙන යන මෙම තරගාවලිය ක්‍රිකට් බලය අල්ලන්නට සැරසෙන පිරිසට දැන් නයාට අඳුකොළ වැනිය.
කුමන බාධක මැද හෝ LPL තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම ශ්‍රී ලාංකිකයින් ලෙස අප අගය කළ යුතුය.
මන්ද සෑම රටක මේ වන විට මෙවැනි ලීග් තරගාවලියක් ක්‍රියාත්මක වන අතර අපට අපේ කියා තරගාවලියක් ලෙස කිව හැක්කේ මෙය පමණක් නිසාවෙන්.
ක්‍රිකට් ඉහළ තලයක තිබි අවස්ථාවක හරිහැටි ලීග් තරගාවලියක් සංවිධාන කිරීමට නොහැකි වූ එවක පරිපාලනය ගැන කතා නොකොට, යළි නැගිටින්න වෙර දරන ක්‍රිකට් පසුබිමක් පවතින මෙවන් අවස්ථාවක වසරක් පාසා ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලිය අඛණ්ඩව පැවැත්වීම පැසසිය යුතු නොවන්නේද ?
එසේ නම් ලොන්ත ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්ද ? එසේත් නැත්නම් ලංකා ප්‍රිමියර් ලීග් ද යන්න සිතා බැලීම ඔබ සතුයි.
විශේෂ වාර්තාකරු