රග්බි නිලවරණය තවත් කල් යයි – ක්‍රීඩා සංගම් 3ක නිලවරණ ජුලි 24-25

නිලවරණ පැවැත්වීමට අපොහොසත්වීම හා පරිපාලන ගැටලු හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇති ජාතික ක්‍රීඩා සංගම් හතරෙන් තුනක නිලවරණ පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දින නියම කර තිබෙනවා.

නිලවරණ කමිටු හඳුන්වා දෙමින් පසුගියදා පැවති විශේෂ මහා සභා රුස්වීම්වලදී කිසිදු විරෝධතාවක් එල්ල නොවූ නෙට්බෝල්, පාපැදි හා ශ්‍රී ලංකා මෝටර් රථ සංගම්වල නිලවරණ ලබන මස 24 හා 25 දිනවලදී පැවැත්වීමටයි නිසි බලධාරී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා කටයුතු යොදා ඇත්තේ.

පැරිස් ඔලිම්පික් උලෙළට පෙර පැවැත්වීමට අදහස් කර ඇති එම ක්‍රීඩා සංගම් තුනේ නාමයෝජනා භාර ගැනීම මේ මස 28 වැනිදා අවසන් වනු ඇති.

තාවකාලිකව අත්හිටුවා ඇති ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු නිලධාරීන් සුළු පිරිසක් විරෝධතා එල්ලකොට ඇති හෙයින්, ඉදිරි කටයුතු සඳහා නීතිපති උපදෙස් අනුව විශේෂ මහා සභා රුස්වීමක් ලබන මස 15 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී කැඳවා තිබෙනවා.

එහිදී ජාත්‍යන්තර රග්බි සංගමයේ හා ආසියානු රග්බි සංගමයේ මාර්ගෝපදේශ අනුව සැකසූ යෝජිත ව්‍යවස්ථාව සම්මත කොට නිලවරණ කමිටුව හඳුන්වාදී නිලවරණය කඩිනමින් පැවැත්වීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

එම නීත්‍යානුකූල රැස්වීමෙන් අනතුරුව කිසිවෙකුට හෝ කල්මැරීම උදෙසා ව්‍යාජ විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව නැති හෙයින් නිලවරණ දිනය ප්‍රකාශ කිරීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හැකිවනු ඇති.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ඡන්ද අයිතිය ලබාදීමේදී රග්බි ක්‍රීඩකයන් නියෝජනය කරන සංගම් වෙත ඡන්ද හිමිකම් ලබාදිය යුතු බවට ජාත්‍යන්තර රග්බි සංගමය හා ආසියානු රග්බි සංගමය ක්‍රීඩා ඇමැතිවරයා වෙත දැනුම්දී ඇති පරිදි නව ව්‍යවස්ථාවක් සකසා නිලවරණය පැවැත්වීමට යෑමේදී නමට පමණක් ඇති ක්‍රියාකාරීත්වයක් නැති සංගම් කිහිපයක් මෙලෙස විරෝධතා ඉදිරිපත් කර ඇතැයිද පැවසෙනවා.

එබැවින් නීති උපදෙස් අනුව ශ්‍රී ලංකා රග්බි සංගමයේ විශේෂ මහා සභාව පුවත්පත් දැන්වීම් මඟින් ප්‍රකාශ කොට පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

තීරණයවී ඇති නෙට්බෝල්, පාපැදි හා ශ්‍රී ලංකා මෝටර් රථ සංගම්වල නිලවරණ පැවැත්වීම උදෙසා දැනටමත් නිලවරණ කමිටු පත්කොට ඇති අතර, එහි ප්‍රධානියා ලෙස මහාධිකරණ විනිසුරු සරත් එදිරිසිංහ මහතා නම් කොට තිබේ. අතිරේක ලේකම්වරියක් වූ පද්මජිනා සිරිවර්ධන, මොරටුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂ සී.ඩී. රත්නමුදලි, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අයි.එම්. රණසිංහ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එන්.ඒ.ටී. ජයසිංහ යන මහත්ම මහත්මීහු නිලවරණ කමිටු සාමාජිකයන් ලෙස නම් කොට තිබේ.

නිලවරණ කමිටුව විශේෂ මහා සභාවේදී හඳුන්වාදීමෙන් පසු ඡන්ද විමසීම පැවැත්වීමේ සම්පූර්ණ බලය එම නිලවරණ කමිටුවට හිමිවන අතර, දින 60කට පෙර නිලවරණ කටයුතු අවසන් කිරීම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *