ශ්‍රී ලංකාව 20-20 ලෝක කුසලානයෙන් ඉවතට ?

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත අතිශය දුර්වල පිතිකරණයත්, ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් යොදාගැනීමේදී දැක්වූ දුර්වලතාත් හේතුවෙන් බංග්ලාදේශය හමුවේ අමිහිරි පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අද සිදුවුණා.

ඩලස් හි ග්‍රෑන්ඩ්ප්‍රේරි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේ පැතුම් නිස්සංකයි.

ශ්‍රී ලංකාව පන්දුවාර 8යි පන්දු 4ක් අවසන් වනවිට කඩුළු දෙකක් දැවී ලකුණු 70ක් රැස්කරගෙන ඉතා ප්‍රබල ස්ථානයක පසුවුණා.

නමුත් පන්දු 28කදී ලකුණු 47ක් රැස්කරගෙන සිටි පැතුම් නිස්සංක දැවීයාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටීම ඇරඹුණා.

දකුණු අප්‍රිකා තරගයට දෙවැනි නොවූ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අතිශය දුර්වල සහ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අවසන් කඩුළු 7 බිඳවැටුණේ ලකුණු 54ක් තුලයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 124ක් පමණයි.

ලකුණු 125ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණඩායමේ පළමු කඩුළු 3 ලකුණු 28ක් තුළ දවාගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් බංග්ලාදේශයට දැඩි පීඩනයක් එල්ල කළා.

නමුත් සිව්වන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ලිටන් දාස් සහ තව්හිද් හ්රිදොයි ලකුණු 68ක සබඳතාවක් ගොඩනගමින් බංග්ලාදේශයට එල්ල වී තිබු පීඩනය ශ්‍රී ලංකාව දෙසට යොමුකලා.

බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත විවර වුයේ වනිඳු හසරංග යැවූ බංග්ලාදේශ ඉනිමේ 12 වැනි පන්දුවාරයට තව්හිද් හ්රිදොයි පිට පිට එල්ලකළ හයේ පහර 3ත් සමගයි.

යළි ශ්‍රී ලංකාව දෙසට තරගය දෝලනය වූයේ 18 වැනි පන්දුවාරයේදීයි.

එහිදී නුවන් තුෂාර පිට පිට කඩුළු දෙකක් දවාගනිමින් බංග්ලාදේශ ප්‍රේක්ෂකයින් වික්ෂිප්ත කිරීමට සමත්වුණා.

නමුත්, 18 වැනි පන්දුවාරය නිමාවෙද්දී ශ්‍රී ලංකා නිත්‍ය පන්දු යවන්නන් සිව්දෙනාගේ පන්දුවාර 16 අවසන්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තිබූ ජයග්‍රහණයේ බලාපොරොත්තු බොඳවී ගියා.

අවසන් පන්දුවාර දෙකට කඩුළු දෙකක් අතැතිව බංග්ලාදේශය ලකුණු 11ක් රැස්කරගත යුතුව තිබුනත් අවසන් පන්දුවාර දෙක යැවීම සඳහා තරගය තුළ එතෙක් පන්දු නොයැවූ දසුන් ශානක හෝ ඇන්ජලෝ මැතිව්ස් අතරින් එක් පන්දු යවන්නෙක් තෝරාගැනීමට වනිඳුට සිදුවුණා.

19වැනි පන්දුවාරයේ දසුන් යොමුකළ පළමු පන්දුවම ෆුල්ටොස් පන්දුවක් වූ අතර ඊට බංග්ලාදේශ පිතිකරුමොහොමදුල්ලා හයේ පහරක් එල්ල කළා.

ඒ අනුව 19 වැනි පන්දුවාරයේදී ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 11 රැස් කරගනිමින් බංග්ලාදේශය තරගය ජයගත්තා.

තරගයෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා නායකයා සහභාගි වූයේ නැහැ.

ඒ වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සහ කණ්ඩායම් කළමණාකරු සහභාගි වුවත් මාධ්‍යවේදීන් නැගූ බොහෝ ප්‍රශ්ණ වලට ඔවුන් නිරුත්තර වුණා.

මාධ්‍යවේදියා – ටෙස්ට් සංචිතයේ ඉන්න ඕන පිතිකරුවන් 20-20 සංචිතයේ ඉන්නවා. නමුත් වේගයෙන් පන්දුවට පහරදෙන පිතිකරුවෝ එළියේ ඉන්නවා.

මේකද පරාජයට හේතුව?

මහින්ද අලංගොඩ – ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු
තේරීම් කමිටුවට තමයි ඒක යොමු කරන් ඕනේ. නමුත් තව ලකුණු රැස් කරන්න තිබුණා. ඒක මම පිළිගන්නවා.

මාධ්‍යවේදියා – අපි දැක්කා නුවන් ඔයා ගොඩක් හොඳින් පන්දු යවලා අවසන් මොහොත දක්වා තරගය ගෙනාවා.
ඔබ හිතන්නේ නැද්ද තරගය මැදදි තව පන්දුයවන්නෙකු පන්දු වාරයක් යැව්වේ නම් තරගය බේරගන්න තිබුණා කියලා.

නුවන් තුෂාර – ක්‍රිකට් ක්‍රීඩක
මම හිතනවා නායකයෙක් විදිහට වනිදු තමයි තීරණය ගත්තේ. මම ක්‍රීඩා කරන්නේ කණ්ඩායමට ඕනේ විදිහට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *