ජස්ප්‍රිත් බුම්රාගේ සුපිරි පන්දු යැවීම හමුවේ අසරණ වු පාකිස්තාන කණ්ඩායම පරදා ලකුණු 6ක සුපිරි ජයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ හැකිවුණා.
ක්‍රිකට් ලොවේ පසමිතුරන් ලෙස සැලකෙන ඉන්දු – පාකිස්තාන ගැටුම නැරඹිම සඳහා නසාවු ක්‍රීඩාංගණයට අතුරු සිතුරු නැතිව ක්‍රීඩා ලෝලීන් එක්වුණේ තරගයේ උණුසුම දෙගුණ තෙගුණ කරමින්.
තරගය අතරවාරයේ ක්‍රීඩාංගණයට ඉහළ අහසේ “රිලීස් ඉම්රාන් ඛාන්”යනුවෙන් සටහන් කළ පුවරුවක් රැගත් සැහැල්ලු ගුවන් යානයක් ගමන් කළේ මේ අයුරින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 119ක් පමණයි.
විටෙක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 11ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 89ක් ලබා ඉතා ප්‍රබල තත්වයක සිටියත් අවසන් කඩුලු 7 ලකුණු 30ක් තුල දවා ගනිමින් තරගයේ පාලනය සියතට ගැනීමට පාකිස්තාන පන්දු බලඇණියට හැකිවුණා.
බැලු බැල්ලමට ලකුණු 120, පාකිස්තාන කණ්ඩායමට ඉතා පහසු ඉලක්කයක් වුවත් ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 113ක් පමණයි.
සුපිරි පන්දු යැවීමක නිරත වු ජස්ප්‍රිත් බුම්රා ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත්තා.
ඉන්දීයාව ලද මේ ජයත් සමඟ A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වු අතර පාකිස්තානය සහභාගී වු තරග දෙකම පරාජය වී සිටිනවා.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට මේ වනවිට සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගැනිමේ දැඩි අවදානමක පසුවෙනවා.
