දඟපන්දුවට සහ වේගපන්දුවට ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩි බරක් දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ (HPC) දඟ පන්දු සහ වේග පන්දු යැවීමේ ඇකඩමි ද්විත්වයක් නිර්මාණය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පසුගිය සති අන්තයේ දී HPC පුහුණු කාර්ය මණ්ඩලය සමඟ එක්ව පළමු පෙළ ක්‍රීඩකයින් 105 දෙනෙකු වෙත සිය අවධානය යොමු කරමින් අධීක්ෂණය කර තිබෙනවා.

පළමු පෙළ Tier A සහ B කණ්ඩායම්වල ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතුරින් මෙම තේරීම් සිදු කර ඇති අතර, HPC සහ SLC රෙගුලාසිවලට අදාළ ව අදාළ කණ්ඩායම් පුහුණුකරුවන් මෙම ක්‍රීඩකයින් නිර්දේශ කර තිබෙනවා.

එම ක්‍රීඩකයින් අතුරින් අදාළ ඇකඩමි සඳහා පන්දු වන්නන් තෝරා ගැනෙනු ඇති අතර, ඉන් පසුව එම ඇකඩමිවල දී අදාළ ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය කිරීමේ වැඩකටයුතු සිදු කෙරෙනු ඇති.

මෙම නිර්දේශ ලද වේගපන්දු යවන්නන් අනූශ රාමනායක, රවීන්ද්‍ර පුශ්පකුමාර, චමිල ගමගේ සහ දර්ශන ගමගේගේ අධීක්ෂණයට ලක් වී ඇති අතර, දඟපන්දු යවන්නන් පියල් විජේසිංහ, සජීව වීරකෝන් සහ සචිත් පතිරණගේ අධීක්ෂණයට ලක් වී තිබෙනවා.

මෙමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉදිරියේ දී ඇති පන්දු යැවීමේ සම්පත් ප්‍රමාණය තවත් තර කර ගැනීමයි අරමුණ වී ඇත්තේ. එමෙන්ම මෙම ක්‍රියාවලිය ඉදිරියේ දී පලාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් ද පැවැත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *