පැරා මලල ක්‍රීඩා වීරයන්ට යුද හමුදාවෙන් උපහාර

ජපානයේ පැවති කෝබේ 2024 පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී පැරා මළල ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරි II කේ.ඒ. සමිත දුලාන් සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මාණ්ඩලික සැරයන් එච්.ජී. පාලිත බණ්ඩාර, 2024 මැයි මස 27 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ඇගයීමට ලක්විය.

මව්බිමටත් යුද්ධ හමුදාවටත් අභිමානයක් ගෙනදුන් මෙම ක්‍රීඩකයින්ගේ දක්‍ෂතාවයන් පිළිබඳ ඇගයීමට ලක්කල යුද්ධ හමුදාධිපතිතුමන් එම ක්‍රීඩකයින් දෙපළ සමඟ සුහඳ පිළිසඳරක නිරත වූහ. අනතුරුව, එම ක්‍රීඩකයින් දෙදෙනා වෙත විශේෂ සමරු තිළිණ සහ මූල්‍ය දිරිදීමනා පිරිනැමූ යුද්ධ හමුදාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සඳහා සිය සුභාශිංසනයන් ද එක්කළේය. මෙම අවස්ථාවට ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.ඒ.ටී. ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ද සහභාගී විය.

ජපානයේ පැවති කෝබේ 2024 පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී බළලත් නිලධාරි II කේ.ඒ. සමිත දුලාන් F -44 කාණ්ඩයේ පැරා හෙල්ල විසිකිරීමේ තරඟය සඳහා සහභාගී වී මීටර් 66.49 ක දුරක් වාර්ථා කරමින් ලෝක වාර්තාවක් පිහිටවූ අතර, F-44/F-64 කාණ්ඩයන් යටතේ පැරා හෙල්ල විසිකිරීමේ ඉසව් සඳහා සහභාගී වී රිදී පදක්කමක් දිනාගත්තේය. එමෙන්ම, එම තරඟාවලියේදී මාණ්ඩලික සැරයන් එච්.ජී. පාලිත බණ්ඩාර යගුලිය විසි කිරීම ඉසව්වේ F -42 කාණ්ඩය යටතේ මීටර් 14.27 ක දුරක් වාර්ථා කරමින් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *