LPL චෝදනාවලට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිතුරු දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එල්පීඑල් තරගාවලියේ දූෂණවලට සම්බන්ධ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නඟන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පැවසුවේ ඉකුත් මැයි මස 24 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී හේෂා විතානගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, එල්.පී.එල්. තරගාවලි අධ්‍යක්ෂකවරයා හා ක්‍රිකට් නිලධාරීන් තරග පාවාදීමට සම්බන්ධ බවට පදනම් විරහිත ප්‍රකාශයක් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙලා දකින බවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වගකිවයුතු පාලක මණ්ඩලය සහ උත්තරීතර අධිකාරිය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසර 2020 සිට ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරන අතර, එහි අඛණ්ඩතාවයට නිරන්තරයෙන් ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා.

මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන අංශයේ අධීක්ෂණය නිරන්තරයෙන් ලබාගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අධීක්ෂණය කළ අතර, එය ඔවුන්ගේ සේවයේ කොටසක්.

එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ශ්‍රී ලංකාවේ පිහිටි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට දඹුල්ල කණ්ඩායමේ එක් හිමිකරුවකු සැක කටයුතු ක්‍රියාකාරකමකට සම්බන්ධ බවට දැනුම්දීමක් කර තිබූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එබැවින් ශ්‍රී ලංකා පොලිස් බලධාරීන් විසින් දඹුල්ල කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට ගත් අතර, ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩතාව සහ විනිවිදභාවය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කැපවීම තහවුරු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ශ්‍රී ලංකාවේ පවතින නීතිය බලාත්මක කිරීමේ අධිකාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් දිගින් දිගටම කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩාව දූෂණයෙන් හා විෂමාචාරවලින් තොර බව සහතික කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල බලධාරීන්ට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙමින් දිගටම කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් වැඩිදුරටක් කරුණු පැහැදැලි කරමින් සදහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *