දශකයකට පසු කොල්කටා පිලට IPL ශූරතාවක්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය තුන්වන ශූරතාව හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත්වුණා.

ඒ අවසන් මහා තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින්.

වසර 8කට පසු IPL ශූරතාවක් හිමිකරගැනීමේ අරමුණෛන් පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පිටියට පිවිසෙද්දි ශ්‍රෙයාස් අයියර්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පිටියට පිවිසියේ වසර 10කට පසු ශූරතාව හිමිකරගැනීමේ අරමුණ සහිතවයි.

චෙන්නායි ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කොල්කාටා පිලේ පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 113ක් පමණයි.

IPL අවසන් මහා තරගයක පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායමක් රැස්කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා අතරට එක්වුණා.

ලකුණු 114ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කොල්කටා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3කදී කඩුලු දෙකක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියේ කොල්කටා පිලට IPL කිරුළ හිමිකරදෙමින්.

කොල්කටා පිල IPL ශූරතාවක් දිනු තුන්වන අවස්ථාව මෙය වන අතර ඔවුන් IPL ශූරතාවක් ජයගත්තේ වසර 10කට පසුව වීම විශේෂත්වයක්.

තරගයේ වීරයා සම්මානය මිචේල් ස්ටාර්ක් හිමිකරගත් අතර තරගාවලියේ වීරයා සම්මානය සුනිල් නරේන් හිමිකරගත්තා.

වසර 10කට පසු IPL ශූරතාවක් ජයග්‍රහණය කිරීමේ සතුට සැමරීමට කණ්ඩායමේ හිමිකරු සුපිරි නලු ශාරුක් ඛාන්ද එක්ව සිටියා.

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරද මෙවර ශුරතාව දිනූ කොල්කටා සංචිතයට ඇතුළත්ව සිටියා.

ශූරතාව ජයග්‍රහණයෙන් පසු කොල්කටා කණ්ඩායම සිය ජයග්‍රහණය මේ ආකාරයෙන් සැමරුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *