පොලීසිය වසර 33කට පසු ක්ලිෆර්ඩ් රග්බි කිරුළ දිනයි

මෙවර ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පොලිස් කණ්ඩායම අද සමත්වුණා.

ඒ අවසන් මහා තරගයේදී හැව්ලොක් කණ්ඩායම ලකුණු 19-12ක් ලෙස පරාජය කරමින්.

පොලිස් කණ්ඩායමක් ක්ලිෆර්ඩ් රග්බි ශූරතාවක් මෙලෙස දිනා ගත්තේ වසර 33කට පසුවයි.

ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකිමේ අන්තර් සමාජ රග්බි තරගාවලියේ අවසන් මහ තරගය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණේ පොලිස් කණ්ඩායම සහ හැව්ලොක් කණ්ඩායම අතරයි.

මෙම තරගය නැරඹීමට ක්‍රීඩාලෝලීන් රැසක් තුරඟ තරග පිටියට පැමිණ සිටියා.

පළමු අර්ධයේදී දෙපිල අතර තියුණු සටනක් පැවති අතර එම අර්ධයේදී ලකුණ 5ට බින්දුවක් ලෙස පෙරමුණ ගත්තේ පොලිස් කණ්ඩායමයි.

දෙවන අර්ධයේදී තවත් ලකුණු 14ක් පොලිස් කණ්ඩායම රැස් කළ අතර එම අර්ධයේදී ලකුණු 12ක් රැස් කිරීමට හැව්ලොක් කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව අවසන් තරගය ලකුණු 19ට 12ක් ලෙස ජය ගත් පොලිස් කණ්ඩායම මෙවර ක්ලිෆර්ඩ් රග්බි කුසලානය දිනා ගත්තේ ඓතිහාසික ජයක් වාර්තා කරමින්.

පොලිස් කණ්ඩායම උත්සහක දිනුම් තුනක් ප්‍රවර්තන දෙකක් සමගින් ලකුණු 19 රැස් කළ අතර හැව්ලොක් කණ්ඩායම උත්සහක දිනුම් දෙකක් සහ ප්‍රවර්තන එකක් සමඟින් ලකුණු 12 රැස් කළා.

පොලිස් කණ්ඩායම ක්ලිෆර්ඩ් රග්බි ශූරතාවක් මෙලෙස දිනා ගත්තේ වසර 33කට පසුවයි.

ඔවුන් අවසන් වරට 1991 වර්ෂයේදි එවැනි දස්කමක් දක්වා තිබුණා.

කුසලාන ප්‍රදානය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, රග්බි සංගමයේ නිලධාරීන් එක්වුණා.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ පොලිස් කණ්ඩායමේ ආකාෂ් මදුෂංකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *