මෙම වසරේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායම් තරග වදින කාණ්ඩ සහ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා පිල මෙවර තරග වදින්නේ ඩී කාණ්ඩයෙන්.
මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දිය කොදෙව් සහ අමෙරිකාවේ සත්කාරකත්වයෙන් ලබන ජූනි 1 වැනිදා සිට ජුනි 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කණ්ඩායම් 20ක් සහභාගි වන මෙවර තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන අතර එම කාණ්ඩ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉකුත්දා ප්‍රකාශය පත් කළා.
ඒ අනුව A කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව සහ අමෙරිකාව තරග වදින අතර B කාණ්ඩයෙන් තරග වදින්නේ එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ ඕමානයයි.
C කාණ්ඩයෙන් නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්ථානය, උගන්ඩාව සහ පැපුවා නිව්ගිනියාව තරග වදින අතර D කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය තරග වදිනවා.
මූලික වටයේ ඒ ඒ කාණ්ඩවල ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙකේ පසුවන කණ්ඩායම් දෙක බැගින් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර සුපිරි අට දෙනාගේ වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙනු ඇති.
මෙවර 20-20 ලෝක කුසලානය තරගාවලියේ පළමු තරගය සත්කාරක අමෙරිකාව සහ කැනඩාව අතර ජුනි පළමුවැනිදා ටෙක්සාස් හිදි පැවැත්විමට නියමිතයි.
මූලික වටයේදී ඩී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය ජුනි 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිවත්, දෙවන තරගය ජුනි 7 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, 3 වැනි තරගය ජුනි 11 වැනිදා නේපාලයට එරෙහිවත්, සිවුවන තරගය ජුනි 16 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත් පැවැත්වෙනවා.
