ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරගය වැස්සට සේදෙයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු එක්දින තරගය අත්හැර දැමීමට සිදුවුණා.

ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසයි.

තරගයේ කාසියේ වාසිය දිනු නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් 211වැනි ක්‍රීඩකයා ලෙස 28 හැවිරිදි ජනිත් ලියනගේ එක්දින වරම් හිමිකරගත්තා.

ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසියේ නායක කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දුයි.

පළමු පන්දුවාරයේදීම අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබා ක්‍රීඩාගාරායට හරවා යවන්නට රිචඩ් එන්ගරාවා සමත්වුණා.

අවිශ්ක ප්‍රනාන්දු එක්දින තරගයක් වෙනුවෙන් ක්‍රීඩාකළේ වසරකට පසුවයි.

අනතුරුව කුසල් මෙන්ඩිස් සමඟ එක්වූ සදීර සමරවික්‍රම ලකුණු 63ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට සහනයක් එක්කළා.

සදීර සමරවික්‍රම පන්දු 31කදී ලකුණු 41ක් රැස්කළ අතර ඔහුගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ මංගල එක්දින තරගයට ක්‍රීඩා කරන ජනිත් ලියනගේයි.

ජනිත් මෙන්ඩිස්ට අගනා සහයක් ලබාදෙමින් තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 48ක සබඳතාවක් ගොඩ නැගුවා.

ජනිත්ගේ මංගල ඉනිම ලකුණු 24කට සීමා කිරීමට සිම්බාබ්වේ වෙනුවෙන් මංගල එක්දින තරගයට ක්‍රීඩා කරන ෆරාස් අක්‍රම් සමත්වුණා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක සිය එක්දින ක්‍රිකට් දිවියේ තුන්වන ශතකය සමඟින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 101ක්.

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 46 ක් රැස්කළ අතර සදීර සමරවික්‍රම ලකුණු 41යි.

ලකුණු 274ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සිම්බාබ්වේ පිළේ පළමු කඩුලු දෙක ලකුණු 5කදී දවාගැනීමට ඩිල්ෂාන් මධුෂංක සමත්වුණා.

නමුත් තරගයේ 4 වැනි පන්දුවාරයේදී වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගය තාවකාලිකව නතර කෙරුණු අතර රාත්‍රී 9.20ට පමණ තරගය අත්හැර දැමීමට තරග තීරකයන් තීරණය කළා.

ඒ වනවිට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු දෙකක් දැවි රැස්කරගෙන සිටි ලකුණු සංක්‍යාව 12ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *