ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට අදාළ ගැසට් නිවේදනයට එරෙහිව ක්‍රිකට් සභාපතිවරයා ඉදිරිපත් කළ පෙත්සමේ විභාග කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද තීන්දු කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගත් තීරණයට අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සම අද නැවතත් කැඳවනු ලැබුවා.
ඒ සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතුරුපාලක කමිටුවක් පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව දන්වා සිය සේවාදායකයා ඉකුත් 12 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයේ තිබෙන තාක්ෂණික දෝෂ නිවැරැදි කර තිබෙන බව නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා මෙහිදී සඳහන් කළා.
එසේ නිවැරදි කළ ගැසට් නිවේදනයක් පසුගිය 13 වනදා නිකුත් කිරීමට කටයුතු කළ බවත් ඔහු පැවසුවා.
මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු සෝභිත රාජකරුණා මහතා මෙම තත්ත්වය හමුවේ අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් ඇත්දැයි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගෙන් විමසා සිටියා.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියාසිටියේ අවශ්‍යතාවයක් මතුවුවහොත් මෙම පෙත්සම යළි කැඳවීමේ අයිතිය රඳවා ගනිමින් එහි විභාග කටයුතු අවසන් කිරීමට පෙත්සම්කරු එකඟ බවයි.
ඒ අනුව නීතිමය අවශ්‍යතාවයක් මතු වුවහොත් එම පෙත්සම යළි කැඳවීම සඳහා පෙත්සම්කරුගේ අයිතිය රඳවා ගනිමින් එහි විභාග කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළා.
