අතුරු කමිටු ගැසට්ටුව රිවර්ස් කිරීමට හරීන් අත්සන් තබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීමට පෙර ගත් තීරණය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට තමන් අත්සන් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එක්ස් සටහනක් තබමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ අක්‍රමිකතා රැසක් ඇති බව පවසමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත් කිරීමට නොවැම්බර් මස 6 වැනිදා කටයුතු කළා.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනු කළ පෙත්සමක් සළකා බලමින් අභියාචනාධිකරණය ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළා.

එවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සහ එහි නියාමනය සහ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංගණය කර ඇති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි කිරීමට ජාත්‍යන්ර ක්‍රිකට් කවුන්සිලය ඉකුත්දා පියවර ගෙන තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ මතභේදයකට පැටලුණු එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තනතුරෙන් ඉවත්කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම ඉවත්කරලීම උදෙසා සුබවාදී බලපෑමක් ඇතිකළ හැකි බවද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

අනතුරුව නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් වූ හරීන් ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග ශ්‍රී ලංකාවට පැනවූ තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාද ආරම්භ කළා.

එවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීමට පෙර ගත් තීරණය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට තමන් අත්සන් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එක්ස් සටහන් තබමින් සඳහන් අද කර තිබුණා.

එම සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත් කිරීමේ අරමුණින් අතුරු කමිටුවක් පත් කිරීමට පෙර ගත් තීරණය අවලංගු කරමින් එම ගැසට් පත්‍රයට අද අත්සන් තැබූ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාව පිළිබඳ නිරීක්ෂණ ඉල්ලා අයිසීසීයට ද ලිඛිතව දැනුම් දී ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ද ලබාගෙන ඇති බව ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *