වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් පිල අද සමත්වුණා.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් පිල මෙම තරගය ජය ගත්තේ කඩුලු 2කින්.
ඩුබායි හි අයි.සී.සී ඇකඩමි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස් කිරීමට සමත්වුණා.
එහිදී එක්සත් අරාබි යොවුන් පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 7 ලකුණු 168ක් තුළ දවා ගැනීම කැපී පෙනුණා.
ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් දිනුර කළුපහන ලකුණු 56ක් රැස් කළා.
ලකුණු 221ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එක්සත් අරාබි යොවුන් පිලේ මුල් කඩුලු 6 ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 172 ක් තුළ දවා ගත්තද එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.
ඉන් උපරිම ඵල නෙලාගත් ටනිෂ් සූරි ලකුණු 75ක් සහ ආයන් අෆ්සාල් ඛාන් ලකුණු 33ක් රැස් කරමින් එක්සත් අරාබි යොවුන් පිලට ජය මාවත විවර කර දුන්නා.
ඒ අනුව එක්සත් අරාබි යොවුන් කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ කඩුලු 8ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කරමින් ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව ඉතිහාසගත ජයක් වාර්තා කළා.

