ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිසර පෙරේරාට සහ ඉසුරු උදානට මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයන් පස්දෙනා යළි විස්සයි20 සංචිතයට කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ ස්ථාන අහිමිවූ මේ ක්‍රීඩකයන් පස්දෙනාට අමතරව හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න කෙරෙහි ද අවධානය යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.
එහෙත් සීකුගේ ප්‍රසන්න විස්සයි20 සංචිතයට යළි සම්බන්ධ කර ගැනීම පිළිබඳ ස්ථීර තීරණයකට එළැඹ නැතැයි තොරතුරු අනාවරණය වී නැහැ.
බටහිර ඉන්දීය කොදෙව් හා අමෙරිකාවේදී ලබන වසරේ ජූනි මාසයේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල වඩාත් ශක්තිමත් ස්ථාවරයකට පත් කර ගැනීමේ ඉලක්කය ඇතිව මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පස්දෙනා යළි ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට කැඳවීමට තීරණය කර ඇත්තේ.
විවිධ හේතූන් මත පසුගිය කාලයේදී විස්සයි20 ක්‍රිකට් පිටියෙන් සමුගත් මේ ක්‍රීඩකයන් තවමත් විවිධ ආකෘතිවල ක්‍රීඩා කරමින් සිටින හෙයින් ශ්‍රී ලංකා පිලට එක්කර ගැනීමේ අවස්ථාව ඇති බව බහුතරයකගේ අදහස වී තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිසර පෙරේරා සහ ඉසුරු උදාන ඉතා ඉක්මණින් යළි ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන බවට ප්‍රකාශයක් කළ යුතු වන අතර, එවිට ලෙජන්ඩ්ස් ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමට ඔවුන්ට සිදුවනු ඇති.
මේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට පැමිණීමෙන් අත්දැකීම් බහුල කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබෙන බවත්, යොවුන් ක්‍රීඩකයන් පුහුණු කිරීමට කාලයක් නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙළේ සාකච්ඡාවකදී කතාබහ වී තිබෙනවා.
නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු කාර්ය වී තිබෙන්නේ එළැඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන සිම්බාබ්වේ ක්‍රිකට් පිල සමඟ පැවැත්වෙන එක්දින සහ විස්සයි20 තරගාවලි දෙක සඳහා කණ්ඩායම තෝරාදීමය. එම විස්සයි20 තරගාවලියේදී යළි කැඳවීම් ලබන ජ්‍යෙෂ්ඨයන්ට අවස්ථාව ලබාදී පළමු අත්හදා බැලීමේ සූදානමක් පවතිනවා.
මේ අතර සහාය පුහුණුකරු, වේගපන්දු පුහුණුකරු, දඟ පන්දු පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු යන තනතුරු වෙනුවෙන් ඉදිරියේදී නව මුහුණුවලට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කරන බවද වාර්තා වනවා.
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන උපදේශකයකු ලෙස බඳවාගෙන ඇති අතර, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩක සංවර්ධනයේ විශේෂ වගකීම් ඔහුට පවරා තිබෙන බවයි වාර්තා වන්නේ.
