ෂම්මිලා තරුෂිලාට මිලියන 28ක් පිරිනමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නිමාවට පත්වූ ආසියානු මලල ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ක්‍රීඩික ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් මිලියන 28ක මූල්‍ය පරිත්‍යාග සිදුකිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී සිදු කෙරුණා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සම්මි ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකොළොස් දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරුවන් දෙදෙනෙකුට මෙසේ මූල්‍ය පරිත්‍යාග සිදු කෙරුණා.

මෙහිදී ආසියානු මලල ක්‍රීඩා උළෙලේ මීටර් 800 රන් පදක්කම් ලාභී තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ද, ආසියානු ක්‍රීඩා උලෙලේ හෙල්ල විසි කිරීමෙන් රිදී පදක්කම් ලාභී නදීෂා දිල්හානි ක්‍රීඩිකාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය පරිත්‍යාගයක් මෙහිදී ලබාදුන්නා.

එම ක්‍රීඩා උළෙලේ මීටර් 400 සහය දිවීමේ කාන්තා සහ පිරිමි ඉසව් සඳහා ලෝකඩ පදක්කම් හිමිකර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම කැපී පෙනුනා.

මෙහිදී තරුෂි කරුණාරත්න ක්‍රීඩිකා වගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතාට මෙන්ම දිල්හානි නදීෂා ක්‍රීඩිකාව ගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතා වෙත ද මෙහිදී මූල්‍ය පරිත්‍යාගයන් සිදු කළා.

මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග සුහද පිළිසඳරක යෙදුණු අතර එහිදී සම්මි සිල්වා මහතා කියා සිටියේ මලලක්‍රීඩා වෙනුවෙන් අවශ්‍ය සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපකාර කරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩ ලියද්ද මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රිකට් සභාපතිවරයා හෙට දිනයේ ICC වෙත ගොස් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමට කටයුතු කරන බවයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මෙන්ම ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය ද සහභාගි වුණා.

ක්‍රීඩා අමාත්‍යංශය මේ දක්වා ආසියානු ක්‍රීඩා උලෙළේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිදු මුදල් ත්‍යාගයක් ලබා නොදීමද කැපී පෙනෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *