ශ්‍රී ලංකාවට ගාල්ලේදී ටෙස්ට් පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 165 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1 ට 0ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටිනවා.

අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ යටතේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙය ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති 50 වැනි ටෙස්ට් තරගයයි.

ඒ අනුව ටෙස්ට් තරග 50ක් පැවැත් වූ ආසියාවේ පළමු ක්‍රීඩාංගණය ලෙස ගාල්ල ක්‍රීඩාංගණය වාර්තා අතරට එක්වුණා.

ඉන්දිය කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 462ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කර ගත්තේ ලකුණු 284ක් පමණයි.

ලකුණු 178ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹු ඉන්දියාව ඊයේ දිනයේදී සියලු දෙනා දැවී ලකුණු 193ක් රැස්කළේ ශ්‍රී ලංකා පිලට ලකුණු 372ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමින්.

එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඊයේ දිනයට තරගය නතර කරන විට සිය දෙවන ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 84ක් රැස්කරගෙන සිටියා.

තරගයේ අවසන් දිනය වූ අද දිනයේදී ධනංජය ද සිල්වා සහ සොනාල් දිනූෂ පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා ලකුණු 95ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය පිළිබඳ බලාපොරාත්තුවක් එක්කළා.

කෙසේ වෙතත් ධනංජය ද සිල්වා ලකුණු 59කට සහ පළමු ඉනිමේදී ශතකයක් රැස් කළ සොනාල් දිනූෂ දෙවන ඉනිමේදී ලකුණු 84කට දැවී යාමත් සමග ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ වැටුණා.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට දෙවැනි ඉනිමේදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 206ක් පමණයි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 64ක් තුළ දවා ගැනීමට ඉන්දීය පන්දුයවන්නන් සමත්වුණා.

මෙම ජයත් සමග තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 ට 0ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *