තුන්වැනි දිනයට තරගය ඊයේ ආරම්භ කරනවිට සිය පළමු ඉනිම සඳහා ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 460ක් රැස් කරගෙන සිටියා.
ඉන්දීය ලකුණු පුවරුවට තවත් ලකුණු 2ක් එක්වෙද්දී අවසාන කඩුල්ල ලෙස ප්‍රසීද් ක්‍රිෂ්ණා දැවීගියේ ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙමින්.
ශ්‍රී ලංකා පළමු ඉනිම නිෂාන් මදුෂ්ක සමඟින් ලහිරු උදාර ඇරඹු අතර පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවේදීම නිෂාන් මදුෂ්ක ලකුණු නොලබා දැවී ගියා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 4කට දැවී ගිය අතර ඒ අනුව ශ්‍රී ලංකා මුල් කඩුලු 5 ලකුණු 90ක් තුළ දවා ගැනීමට ඉන්දීය පන්දුයවන්නන් සමත්වුණා.
කඩාවැටුණු ශ්‍රී ලංකාට ඉනිමට ජවයක් එක් කළ නිරෝෂන් දික්වැල්ල සහ සොනාල් දිනූෂ ශ්‍රී ලංකා ගෞරවය රැක ගත්තේ 6 වැනි කඩුල්ලට ලකුණු 146ක අගනා සබඳතාවක් ගොඩනගමින්.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 80ක් රැස් කළේ වසර 3කට පසු ඔහුව යළි කැඳවීම පිළිබඳ මතුවූ විවේචනවලට පිත්තෙන් පිළිතුරු ලබාදෙමින්.
සොනාල් දිනූෂ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකයද අද වාර්තා කළා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම ලකුණු 284කට සීමා වුණා.
ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම අවසානයේ ලකුණු 178ක් ඉදිරියෙන් සිටිනවා.
