ශූරයින් පරදා ගෝල් ගැලන්ට්ස් පළමු ජය ලබයි

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ජයගනිමින් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.

ඒ පසුගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමින්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගයේදී ඊයේ ආරම්භ වූ අතර පළමු තරගයට පෙර තරගාවලියට එක්වන කණ්ඩායම් පහේ ක්‍රීඩකයින් ක්‍රීඩාංගණයට පිවිසුණා.‍ෙ

ලාංකේය අනන්‍යතාවය විදහා දක්වන නර්තන හා සංස්කෘතික අංගවලින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භය හැඩ වුණේ මෙලෙසින්.

සමාරම්භක උලෙල ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නිල වශයෙන් ආරම්භ කළ බව නිවේදනය කළේ මෙලෙසින්.

අනතුරුව ශූරයින්ට පිරිනැමෙන කුසලානය එළිදැක්වුණා.

අනතුරුව මෙරට ජනප්‍රිය ගායන තරු සමාරම්භක උලෙල ගායනයෙන් වර්ණවත් කළා.

පසුව එස් එස් සී ක්‍රීඩංගණයේ ඉහළ අහස වර්ණවත් කරමින් ඩ්‍රෝණ සංදර්ශනයක් පැවැත්වුණේ මෙලිසින්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන් විදුලි විකාශකයා ලෙස FM දෙරණ කටයුතු කරන අතර පළමු තරගය ඊයේ ආරම්භ වුණේ ගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 213ක් රැස් කරමින් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

චරිත් අසලංක පන්දු 38කදී ලකුණු 65ක් රැස් කළ අතර සහන් ආරච්චිගේ ලකුණු 35ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 31ක් රැස් කිරීමට සමත්වුණා.

ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකුරුවන් යුගල ලකුණු 63ක සබඳතාවක් ගොඩනැගුවද අනතුරුව ලකුණු 21ක් තුළ මුල් කඩුලු 5 දවා ගත් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම තරගයේ වැඩි වාසි තමන් දෙසට හරවා ගත්තා.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 40ක් සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 24ක් රැස් කළ එය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 177ක් පමණයි.

මෙම තරගයෙන් ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්වූ අතර ජැෆ්නා ඉනිම සුනු විසුණු කළ එෂාන් මාලිංග ලකුණු 26කට කඩුලු 4ක් දවා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *