සර් ගාෆීල්ඩ් සෝබර්ස් ක්‍රිකට් ලෝකය අඬවයි

ලෝක ක්‍රිකට් පිටියේ පුරා වෘත්තයක් ලෙස සැලකෙන බටහිර ඉන්දී්‍ය කොදෙව් විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩක සහ හිටපු නායක සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් ඊයේ අභාවප්‍රාප්ත වුණා.

ඒ බාබර්ඩෝස් හි පිහිටි සිය නිවසේදීයි.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 89ක්.

ගාර්ෆීල්ඩ් ශාන්ත ඕබ්රන් සෝබර්ස් 1936 ජූලි 28 වන දින බාබඩෝස් හි ශාන්ත මයිකල් හි උපත ලැබුවේ ෂැමොන්ට් සහ තෙල්මා සෝබර්ස් යුවළගේ දරුවන් හය දෙනාගෙන් පස්වැන්නා ලෙසයි.

ගැරී සෝබර්ස් උපත ලැබුවේ එක් අතක එක බැගින් අමතර ඇඟිලි දෙකක් සහිතව වුවත් කුඩා පිරිමි ළමයෙකුව සිටියදී ඔහු බළල් බඩවැල්වලින් සෑදූ නූල් (catgut) සහ තියුණු පිහියක් ආධාරයෙන් ඒවා තමා විසින්ම ඉවත් කර ගත්තේය.

1936 ජූලි 28 වනදා බාබඩෝස් හිදී උපත ලැබූ ගාර්ෆිල්ඩ් සෝර්බස් හෙවත්, ගැරී සෝබර්ස්”, ක්‍රිකට් පිටියේ ඕනෑම භූමිකාවක උපරිම දක්ෂතා දැක්වීමට සමත් වූ අසාමාන්‍ය ක්‍රීඩකයෙක් ලෙසයි සැලකෙන්නේ.

සෝබර්ස් වයස අවුරුදු 16 දී බාබඩෝස් වෙනුවෙන් ඔහුගේ ප්‍රථම පෙළ ක්‍රිකට් දිවිය ආරම්භ කළ අතර
ඔහු 1954 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළා.

1958 වසරේදී විසි එක් හැවිරිවියේ පසු වූ සෝබර්ස් පකිස්ථානයට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 365 වාර්තාව, වසර 36ක් යනතුරු ටෙස්ට් තරඟයක ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස නොබිඳී පැවති අතර පසුව එය බිඳ දැමුවේ බ්‍රයන් ලාරා විසින්.

සෝබර්ස් 1965 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය භාර ගත් අතර ඔහු දර්ශනීය මෙන්ම ප්‍රහාරාත්මක වමත් පිතිකරුවෙකු ලෙස එවකට ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කළා.

වේග පන්දුව සහ දඟ පන්දුව එකලෙසම යැවීමේ හැකියාව ඇති වමත් පන්දු යවන්නෙකු මෙන්ම ඔහු ඕනෑම ස්ථානයක පන්දු රැකිය හැකි දක්ෂ පන්දු රකින්නෙකු ද වුණා.

සිය ක්‍රිකට් දිවියේ අමරණීය සන්ධිස්ථාන කිහිපයකට උරුමකම් කියන සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට එක පන්දුවාරයකදී හයේ පහර 6ක් එල්ල පළමු පිතිකරුවාද වනවා.

ටෙස්ට් තරඟ 93කට ක්‍රීඩා කර ඇති සෝබර්ස්, 57.78ක ඉහළ පිතිකරණ සාමාන්‍යයක් සහිතව ලකුණු 8,032ක් රැස් කරගෙන තිබෙනවා.

ඊට ශතක 26ක් ඇතුළත් ඇතුළත් අතර ඔහු බිඳහෙලා ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 235ක්.

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉටුකළ අනුපමේය සේවය අගයමින් 1975 වසරේදී දෙවන එලිසබෙත් රැජින විසින් ඔහුට “ශ්‍රීමත්” (Sir) නාමයෙන් පුදනු ලැබුවා.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන නිල සම්මානය නම් කර ඇත්තේද ඔහුට ගෞරවයක් ලෙස “Sir Garfield Sobers Trophy” නමින්.

සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ බිහිවූ වඩාත්ම පරිපූර්ණ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ‘විස්ඩන් ඇල්මනැක්’ (Wisden Almanack) සඟරාව මඟින් සෝබර්ස් 20 වන සියවසේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනාගෙන් කෙනෙකු ලෙස නම් සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස්ව නම් කරනු ලැබුවා.

ඔහු දෙවැනි වූයේ ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණයි.

බ්‍රැඩ්මන් විසින්ම 1988 දී පවසා තිබුණේ තමන් දුට විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා ගැරී සෝබර්ස් බවත් තමන් එය පැකිලීමකින් තොරව ප්‍රකාශ කරන බවයි.

1975 දී, බාබඩෝස් හි බ්‍රිජ්ටවුන් හි පැවැත්වුණු, 50,000 ක පමණ පිරිසක් සහභාගී වූ එළිමහන් උත්සවයකදී ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් දෙවන එලිසබෙත් රැජින විසින් ඔහුට නයිට් (Knight) පදවියක් පිරිනැමුවා.

ඔහු 1998 දී බාබඩෝස් හි නිල ජාතික වීරයන් දසදෙනා අතරට නම් කළා.

ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන රන් සළකුණක් වූ මේ අසහාය තුන් ඉරියව් ක්‍රීඩකයා බාබඩෝස් හි සිය නිවසේදී සිය අවසන් සුසුම් හෙළුවේ ක්‍රිකට් ලෝකයේ සදාතනික මතකයන් රැසක් ඉතිරි කරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *