ජේ ෂා ජනපති හමුවෙයි – ශ්‍රී ලංකා ක්‍රිකට්වලට කුමක් වෙයිද ?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙකුද හමුවී අද සාකච්ඡා පැවැත්වුවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවාජිත් සයිකියා ඇතුළු නිලධාරීන් පිරිසක් අද මෙරටට පැමිණියා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා සිදුකළේ ජනාධිපති කාර්යාලයේදීයි.

මේ පිළිබඳ එක්ස් සටහනක් තබමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා පැවසුවේ, මෙහිදී ප්‍රධාන වශයෙන්ම නැගී එන ක්‍රීඩකයින් සඳහා වන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම, බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සමාජයීය බලපෑමක් සහ ආර්ථික වර්ධනයක් ඇතිකරලීමේ මෙවලමක් ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කළ බවයි.

මෙම හමුවීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද හමුවී සාකච්ඡාවක් පැවැත්වූවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනය කළේ මෙරට ක්‍රිකට් පරිපාලනයේ වත්මන් තත්ත්වය සහ පාලන සංක්‍රාන්ති ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා දැනට පවරා ඇති කමිටුව ලබා ඇති ප්‍රගතිය කෙරෙහි අවධානය යොමුකරමින් සිදුකළ මෙම සාකච්ඡා සුහදශීලී හා ඵලදායී වූ බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ දිගුකාලීන ස්ථාවරත්වයක් සහ යහපාලනයක් සහතික කිරීම අරමුණු කරගත් ව්‍යවස්ථාමය සහ පරිපාලන ප්‍රතිසංස්කරණවලට අදාළව සිදුවෙමින් පවතින කටයුතු පිළිබඳව ද ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාව දැනුවත් කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *