දඹුල්ලේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය A කණ්ඩායම සමග අද පැවැති තරගය සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත්වුණා.
මෙම ජයත් සමග ශ්‍රී ලංකා A කණ්ඩායම තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය A කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 265ක් රැස් කිරීමට සමත්වුණා.
Suryansh Shedge සූර්යන්ස් ෂේඩ්ජ් ලකුණු 71ක් සහ විප්රාජ් නිගම් ලකුණු 51ක් රැස් කළා.
පන්දුයැවීමේදී මොහොමඩ් ශිරාස් සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 3 බැගින් දවා ගත්තා.
ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 112ක් තුළ බිඳ වැටුණා.
ශ්‍රී ලංකා A ඉනිම සවිමත් කළ සදීර සමරවික්‍රම තරගයේ අවසන් පන්දුවාරය තෙක් රැඳී සිටිමින් ලකුණු 93ක් රැස් කළා.
අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකා A කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 5ක් ලබා ගත යුතුව තිබූ අතර සදීර සමරවික්‍රම දැවී යාමත් සමග ශ්‍රී ලංකා පිලට පීඩනයකට ඇද වැටුණා.
ඒ අනුව අර්ෂාඩ් ඛාන් යැවූ අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් අවශ්‍ය තිබූ අතර එහිදි ශ්‍රී ලංකා A කණ්ඩායමට ලබාගත හැකිවූයේ එක් ලකුණකු පමණයි.
ඒ අනුව තරගය ලකුණු සමවීමෙන් අවසන් වුණා.
කෙසේ වෙතත් ඉන් පසු ඉන්දීය A කණ්ඩායමේ නායකයා විනිසුරුවරුන්ගෙන් සුපිරි පන්දුවාරයක් ඉල්ලමින් උණුසුම් කතාබහාක නිරත වුණා.
අනතුරුව සුපිරි පන්දුවාරයක් යැවීමට තීරණය කෙරුණු අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉනිම ආරම්භ කළේ නායක සහන් ආරච්චිගේ සමගින් අවිශ්ක ප්‍රනාන්දුයි.
ඔවුන් දෙදෙනා සුපිරි පන්දුවාරයේදී ලකුණු 16ක් රැස් කිරීමට සමත්වුණා.
ලකුණු 17ක ඉලක්කයක් හඹා යාම සඳහා ඉන්දීය A කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දුවාරයේදී පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ වෛභව් සූර්යවංශි සහ සූර්යන්ස් ෂේඩ්ජ්.
කෙසේ වෙතත් කූගදාස් මාතුලන් යොමු කළ සුපිරි පන්දුවාරයේදී ඉන්දීය A කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 8ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම සුපිරි පන්දුවාරයේදි ජය වාර්තා කළ අතර තරගයෙන් අනතුරුව විශේන් හැළඹගේ සහ වෛභව් සූර්යවංශි අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

