ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් මලල ක්‍රීඩා ඉසව්වක ලෝක ශ්‍රේණිගතකිරිම්වල පැමිණි ඉහළම ස්ථානයද මෙයයි.
ලෝක මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම ලීග් තරගාවලිය වන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 2026 වසරේ සිව්වන අදියර ඉතාලියේ රෝම නුවරදී ඉකුත්දා පැවති අතර එහිදී වාර්තා රැසක් අලුත් කිරීමට ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග සමත්වුණා.
රුමේෂ් තරංග මෙහිදී මීටර 92යි දශම 6යි දෙකක දක්ෂතාවක් දක්වමින් හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජය ගත්තේ ශ්‍රී ලංකා වාර්තාව නැවත වතාවක් අලුත් කරමින්.
එමෙන්ම රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ රෝම අදියරේ වසර 20ක් පැරණි හෙල්ල විසිකිරීමේ වාර්තාවද මෙහිදී අලුත් කළා.
ඔහු වාර්තා කළ මීටර 92යි දශම 6යි දෙකක දක්ෂතාව ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ දෙවන හොඳම විසිකිරීම ලෙස සටහන් වෙද්දී එය ලෝක ඉතිහාසයේ 8 වැනි හොඳම විසිකිරීම ලෙසින් වාර්තා අතරට එක්වුණා.
රුමේෂ්ගේ මෙම දක්ෂතාව 2026 වසරේ ලෝකයේ හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාව වන අතර 2026 වසරේදී මීටර් 90 සීමාව පසු කළ පළමු සහ එකම ක්‍රීඩකයා වන්නේද රුමේෂ් තරංගයි.
තවමත් 23 හැවිරිදි වියේ පසුවන රුමේෂ් තරංග දැක්වූ මෙම දක්ෂතා හේතුවෙන් ඔහු නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානය සිට 3 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් මලල ක්‍රීඩා ඉසව්වක ලෝක ශ්‍රේණිගතකිරිම්වල පැමිණි ඉහළම ස්ථානයද මෙයයි.
