චමරිලා නොනැවති ඉදිරියට

එංගලන්තයේ සහ වේල්සයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග මේ දිනවල පැවැත්වෙනවා.

එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ දෙවැනි පුහුණු තරගය ඊයේ නෙදර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති අතර එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 7ක ජයක් හිමිකර ගත්තා.

එංගලන්තයේ ඩර්බි හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත නායිකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 143ක් රැස් කරගනිමින්.

පන්දු යැවීමේදී මල්කි මදාරා, සුගන්දිකා කුමාරි සහ කවීෂා දිල්හාරි අතරේ එක් කඩුල්ල බැගින් බෙදීගියා.

ලකුණු 144ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය හන්සිමා කරුණාරත්න නොදැවී ලකුණු 54ක් රැස්කළා.

ඊට අමතරව හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 36ක් සහ හසිනි පෙරේරා ලකුණු 31ක් රැස්කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලානයට පෙර පැවති පුහුණු තරග දෙකම ජයගැනීමට සමත් වුණා.

කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 12 වැනිදා ආරම්භවීමට නියමිත අතර පළමු තරගයේදී සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව කාන්තා කණ්ඩායම තරග බිමට පිවිසිමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *