ක්‍රීඩක කළමනාකරුවන්ගේ බලපෑමෙන් ශ්‍රී ලංකා සංචිත වෙනස් වුණාද ?

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා එක්දින, 20-20 සහ ටෙස්ට් සංචිතය ඉකුත්දා ප්‍රකාශයට පත් කළ අතර මෙම තරග සංචාරය සඳහා 15 දෙනෙකු බැගින් වූ සංචිත මීට පෙර තෝරාගෙන තිබූ බවයි හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසන්නේ.

ඔහු චෝදනා කරන්නේ, කපිල විජේගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් නව තේරීම් කමිටුව, ක්‍රීඩක කළමනාකරුවන්ගේ බලපෑම මත තම කමිටුව සිදුකළ තේරීම්වල සංශෝධන කරමින්, ටෙස්ට්, එක්දින සහ T20I සංචිත පිළිවෙළින් ක්‍රීඩකයින් 17, 16 සහ 15 දෙනෙකු දක්වා වෙනස් කර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තම කමිටුවේ මුල් ටෙස්ට් සංචිතයට කසුන් රාජිත ඇතුළත් කර නොතිබූ බවත් එමෙන්ම, ඉදිරි අනාගත සැලසුම් සහ මීළඟ පිරිමි එක්දින ලෝක කුසලානය ඉලක්ක කරගෙන තම කමිටුව එක්දින සංචිතයේ උපනායකයා ලෙස නම් කර තිබූ දුනිත් වෙල්ලාලගේව ඉවත් කර, ඒ වෙනුවට කමිඳු මෙන්ඩිස් උප නායකයා ලෙස නම් කර ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

තවද, විශේෂයෙන්ම නුවන් තුෂාරගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධ ගැටලු පවතින අවස්ථාවක, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර T20I සංචිතයට ඇතුළත් වූයේ කුමන පදනමක් මතදැයි ප්‍රමෝද්‍ය ප්‍රශ්න කරනවා.

තම කෙටි කාලීන ධුර කාලය තුළ තේරීම් ක්‍රියාවලියෙන් ඈත්ව තිබූ ක්‍රීඩක කළමනාකරුවන්ගේ බලපෑම, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය සතියේ පත් කළ නව තේරීම් කමිටුවත් සමඟ නැවත පැමිණ ඇති බවටද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ චෝදනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *