ඉවත්කිරීම පැහැදිලි කරන්න – ප්‍රමෝද්‍යගෙන් ඇමතිට ලිපියක්

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ධුරයෙන් ඉවත් කිරීම නිල වශයෙන් ලිඛිතව දැනුම් දෙන ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබෙනවා.

ඒ වසර දෙකක කාලයක් සඳහා පත් කළ තමන්ව ඉවත් කිරීම ගැන හේතු පැහැදිලි කරන ලෙස දන්වමින්.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පත්කරනු ලැබුවේ ඉකුත් වසරේ දෙසැම්බර් මසදීයි.

වසර දෙකක කාලයක් සඳහා පත් කෙරුණු එම කමිටුවේ නිල කාලය අවසන් වීමට මාස 19ක්ව තිබියදී ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කපිල විජේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පතිකිරීමට ඊයේ පියවර ගත්තා.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ දැනුම් දී ඇත්තේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ධුරයෙන් ඉවත් කිරීම නිල වශයෙන් ලිඛිතව දැනුම් දෙන ලෙසයි.

වසර දෙකක නිල කාලයක් සඳහා පත්කරනු ලැබූ තමාගේ කොන්ත්‍රාත්තුව ඊට පෙර අවසන් කිරීම ගැන හේතු පැහැදිලි කරන ලෙසත් ඔහු ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රතිසංවිධානය කරන බව තමාට වාචිකව දැන ගන්නට ලැබුණත් තම රාජකාරී සහ වගකීම් නිසි ලෙස භාරදීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ තීරණය නිල වශයෙන් දැනුම් දීම වැදගත් වන බවයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පෙන්වා දුන්නේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කිරීම පිළිබඳව ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *