ක්‍රිකට් ව්‍යවස්ථාව හදන්න මහජන අදහස් විමසයි

මහජන අදහස් සහ තවත් පාර්ශ්ව රැසකගේ අදහස් විමසමින් නව ක්‍රිකට් ව්‍යවස්ථාව සකස් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

නව ක්‍රිකට් ව්‍යවස්ථාව මාස 3ක් 4ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි එම කමිටුව පළමුවරට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ ක්‍රිකට් පරිවර්තන කමිටුව ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පළමු වරට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ඒ එම කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න සහ එහි සාමාජික සිදත් වෙත්තමුනි ඇතුළු එම කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන්.
ක්‍රිකට් සභාපති ලෙස පත්වී‍මෙන් අනතුරුව ආගම්වාදී මඩ ප්‍රචාර ඇතැම් පිරිස් පතුරුවාලීම හෙලා දකින බවද ඒ මහතා පැවැසීය.

“මා ඉගෙන ගත් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ‍ලෙස කටයුතු කළා. මා විවාහ වුණේ උඩරට බෞද්ධ පවුලකින්. විශාකා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් සමඟ. මම බැංකුවක් හැදුවා කවදාවත් ඔය චෝදනා ආවේ නෑ. ජාතික සංවර්ධන බැංකුවේ සභාපති වුණා ඔය චෝදනා ආවේ නෑ. ජාතික තොරතුරු මධ්‍යස්ථානය රජයට හැදුවා ඔය චෝදනා ආවේ නෑ. රාජ්‍ය ව්‍යාපාරවල ඇමැති කෙනෙක් වුණා. උප ඇමැතිවරයෙක් වුණා. මුදල් රාජ්‍ය ඇමැති වුණා ඔය චෝදනා ආවේ නෑ“ වික්‍රමරත්න මහතා පැවැසීය.
මෙම මාධ්‍ය හමුවට එක්වූ ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජික සිදත් වෙත්තමුණි මහතා පැවැසූවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට පූර්ණ අවධානයක් යොමු කරන බවයි.

“ඉස්සර හිටියා පුහුණුකරුවන් 10ක් විතර. ඒ අය සම්පූර්ණ කාලයම ක්‍රීඩාව ‍වෙනුවෙන් කැප කළා. පාසල් 36ක 19න් පහළ පුහුණුකරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. නිසි ප්‍රමිතියකින් යුත් ක්‍රිකට් පුහුණුකරුවන් බිහි කිරීමට රටවල් ‍දෙක තුනක් සමඟ පුහුණු සමුළුවක් තියන්න පුළුවන්. ක්‍රිකට් වෙනසක් ‍වෙනුවෙන් චිත්‍රසිරි කමිටු වාර්තාවක් තිබෙනවා. එය පදනම් කරගෙන අළුත් ව්‍යවස්ථාවක් හදලා මාස තුනක් හතරක් ඇතුලත පාර්ලි‍මේන්තුවට ගෙන ඒමට අපි කටයුතු කරනවා“ වෙත්තමුණි මහතා පැවැසීය. පුහුණුකරුවන් ගොඩනැගීමට සැලසුම් කිරීම, විනිසුරුවන්ගේ සහ තරග තීරකවරුන්ගේ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බද සදහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *