සොනාල් – අංජල දඹුලු ඉනිම ගොඩගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ පැවැති තරග සියල්ලම පාහේ පිතිකරුවන්ගේ රජදහනක් බවට පත්වද්දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (04 දා) ආරම්භ වුණු එහි අවසන් මහ තරගයේදී පළමු ඉනිම සදහා පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 9 කට ලකුණු 222 ක් ලබා සිටියදි ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදී.

අවසන් මහ තරගයකදී ලකුණු 222ක් යනු බැලූ බැල්මට අඩු ඉලක්කයක් ලෙස පෙනුණද, ඉතිරි කඩුල්ලෙන් තවත් ලකුණු එකතු කිරීමට වඩා දඹුල්ල නායක ධනංජය ද සිල්වා ඉනිම අත්හිටුවා දිනයේ ඉතිරි පන්දුවාර කිහිපයේදී කොළඹ කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දීම විශේෂ තීරණයක් විය.

එම තීරණය මුලදී මවිත කරවනසුළු වූවත්, එහි යටි අරමුණ වූයේ එනම් ඒ වන විටත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට අහසේ වූ වැසි සහිත වළාකුළු වලින් වේග පන්දු යවන්නන්ට ලැබෙන වාසිය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමයි. ඒ අනුව මිනිත්තු 30 ක පමණ කාලයක් ඉතිරිව තිබූ එම කාල සීමාවේදී ඔවුන් බලාපොරොත්තු වූ පීඩනය ප්‍රතිවාදීන් වෙත දමා ගැසුවේ කොළඹ ඉනිම වෙනුවෙන් යවන ලද පන්දුවාර 5.3 කදී ඔවුන්ගේ කඩුල 2 ක් දවා ගනිමිනි.

පස්වැනි නැෂනල් සුපර් ලීග් කිරුළ වෙනුවෙන් සටන් වැද සිටින කොළඹ කණ්ඩායමට දඹුල්ල පළමු ඉනිම අභිබවා යෑමට නම් තවත් කඩුලු 8 කදී ලකුණු 210 ක් ලබා ගත යුතු වේ.

කොළඹ පිලේ ආරම්භක පිතිකරුවන් දෙනොම ලකුණක් බැගින් ලබා සිටියදී ක්‍රීඩාගාරයට හරවා යැවීමට දඹුල්ල පිල සමත් වූ අතර, ධනංජය ලක්ෂාන් ලකුණු නොලබාම දුවද්දී දැවී ගිය අතර, රවිඳු රසාන්ත කවිඳු පතිරත්නගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක අංජල බණ්ඩාර අතට උඩ පන්දුවක්දී ලකුණු 1කට දැවී ගියේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ‍යේදී අද ආරම්භවූ තරගයේ කාසියේ වාසිය දිනාගත් ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී පළමු කඩුලු 2 ම ලකුණු 33 ක් ඇතුළතදී දවා ගත් කොළඹ පන්දු යවන්නෝ තරගයට සාර්ථක ප්‍ර වේශයක් ලබා ගත්හ. අනතුරුව පිටියට පිවිසි නායක ධනංජය ද සිල්වා සහ පවන් රත්නායක තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් පවත්වමින් කඩා වැටුණු ඉනිමට ජීවයක් ගෙන දීමට සැරසෙද්දී නායකයා දැවී ගියේ ප්‍රභාත් ජයසූරිය වෙත පෙරළා දුන් උඩ පන්දුවක් හේතුවෙනි.

පාකිස්තානය බලා ගොස් සිටි ඊයේ (03 වැනිදා) දිනයේදී යළි කණ්ඩායමට එක් වූ පවන් රත්නායකද දිවා විවේකයට ඔන්න මෙන්න තිබියදී ලකුණු 39 කට දැවී යෑම නිසා තරගය නිමා කරන විට දඹුලු ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 4 කට ලකුණු 85 ක් වශයෙන් අසරණ තත්ත්වයකිනි.

කෙසේ වෙතත් දඹුලු ඉනිමට නැංගුරම වූ සොනාල් දිනූෂ ලකුණු 51ක් ලැබූ අතර, අංජල බණ්ඩාර ලකුණු 40කට දැවී ගියේය. සොනාල් හා අංජල 6 වැනි කඩුල්ලට පන්දු 107කදී ලකුණු 53ක් එක් කිරීමට සමත් වූහ. දඹුලු ඉනිම කරකවා අතහැරි වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ලකුණු 54 ක් ඇතුළත කඩුලු 4 ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම සනිටුහන් කර ගනිද්දී ධනංජය ලක්ෂාන් සහ ජනිත් ලියනගේ කඩුලු 2 බැගින් බිද හෙළූහ.

තවමත් ශූරතාවක් දිනා නැති කොළඹ පිල ශූරතාව සොයා පිටියට පිවිසෙද්දී, පසුගියවර අනුශූර දඹුල්ල පිල මෙවර ශූරතාව පිළිබඳ විශාල බලාපොරොත්තු රඳවා ඇති හෙයින් තරගය උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

‍හෙට (5) තරගයේ ‍දෙවැනි දිනයයි.

දඹුල්ල පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 222 (ඕවර් 70) – නිශාන් මධුෂ්ක 9, ලසිත් කෘස්පුල්ලේ 16, ධනංජය ද සිල්වා 15, පවන් රත්නායක 39, විශාද් රන්දික 23, සොනාල් දිනූෂ 51, අංජල බණ්ඩාර 40, කවිඳු පතිරත්න 5, අකිල ධනංජය නෙදැවී 8, නිසල අබේරත්න 4, මොහොමඩ් සිරාස් නොදැවී 7 ( ප්‍රමෝද් මධුෂාන් 39/1, ධනංජය ලක්ෂාන් 42/2, ජනිත් ලියනගේ 18/2, ප්‍රභාත් ජයසූරිය 54/4 )

කොළඹ පිල පළමු ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 12 (ඕවර් 5.3) – රවිඳු රසාන්ත 1, ප්‍රභාත් ජයසූරිය ‍ොදැවී 9, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 2 (කවිඳු පතිරත්න 8/1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *