ලසිත් කෲස්පුල්ලේගේ විශිෂ්ට ශතකය සහ සොනාල් දිනූෂගේ වේගවත් ඉනිම හේතුවෙන් සංචාරක නවසීලන්ත ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති දෙවැනි එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 44කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
මේ සමඟ ශ්‍රී ලංකා ‘ඒ’ පිල 2-0ක් ලෙස එක්දින තරගාවලියේ ජය තහවුරු කර ගත්තේ තවත් තරගයක් ඉතිරිව තිබියදීය.
ඊයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල දුන් ලකුණු 369ක දැවැන්ත ඉලක්කය හඹා ගිය නවසීලන්ත ‘ඒ’ පිල අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 28කදී කඩුලු 3ක් දැවී ලකුණු 158ක් රැස් කර තිබිණි. කෙසේ වෙතත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගය ජය ගැනීමට නම් ඔවුන් ඒ වන විට ලබාගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 203කි.
නවසීලන්ත පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 36දී බිඳවැටුණු අතර, අනතුරුව දෙවැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩනැඟීමට කර්ටිස් හෙෆි සහ ඩේප් පිලිප්ස් සමත් වූහ. ඩේල් ලකුණු 34කට පිටියෙන් ඉවත් කිරීමට මිලාන් රත්නායක සමත් වූ අතර, ලකුණු 135ක් වෙද්දී මැතිව් බොයිල් (17) පිටියෙන් ඉවත් කිරීමට රවිඳු ප්‍රනාන්දුට හැකි විය. තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි කර්ටින් හෙෆි පන්දු 62කින් ලකුණු 53ක් රැස් කර තිබුණේ හතරේ පහර 4ක් සමඟිනි. පන්දු යැවීමේදී ඩිල්ෂාන් මදුෂංක ද කඩුල්ලක් දවා ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ලසිත් කෲස්පුල්ලේ ලකුණු 103ක් රැස් කළේ පන්දු 76ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහර 6කින් වර්ණවත් විය. මුළු ලකුණු 105දී තෙවැනි කඩුල්ල බිඳවැටීමෙන් පසු ලසිත්ට එක් වූ නායක සහන් ආරච්චිගේ පන්දු 73කින් ලකුණු 90ක සබඳතාවක් පිහිටුවීය. මුළු ලකුණු 195දී ලසිත් සිව්වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් අනතුරුව සහන්ට එක් වූ සොනාල් දිනූෂ ලකුණු 70ක සබඳතාවක් ගොඩනැඟූ අතර, පිට පිට මේ තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය ලෙස පන්දු 68කින් ලකුණු 74ක් ලබා සිටි සහන් ලකුණු 265දී 5 වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. අනතුරුව සොනාල් පසු පෙළ පිතිකරුවන් සමඟ එක්ව ලකුණු රැස් කිරීමේ වේගය වැඩි කළ අතර, ඔහු 8 වැනි කඩුල්ල ලෙස දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 355ක් විය. සොනාල් පන්දු 77කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 93ක් රැස් කළ අතර, ඔහුට වනුජ සහන්ගෙන් (14) හොඳ සහයක් ලැබුණේ 8 වැනි කඩුල්ලට පන්දු 29කදී ලකුණු 54කිනි. පන්දු යැවීමේදී ටිම් ප්‍රින්ගල් කඩුලු 3ක් සහ ආදිත්‍ය අශෝක් කඩුලු 2ක් දවා ගත්හ.
දෙපිල අතර අවසන් එක්දින තරගය අනිද්දා (11) හම්බන්තොටදීම පැවැත්වේ.
ශ්‍රී ලංකා ‘ඒ’ – 368/9 (ඕවර 50) ලසිත් කෲස්පුල්ලේ 103, සොනාල් දිනූෂ 93, සහන් ආරච්චිගේ 74 (ටිම් ප්‍රින්ගල් 58/3, ආදිත්‍ය අශෝක් 60/2)
නවසීලන්ත ‘ඒ’ – 158/3 (ඕවර 28කදී ඉලක්කය 203යි) කර්ටිස් හෙෆි නොදැවී 53, ඩේප් පිලිප්ස් 34, ටිම් රොබින්සන් 27.
