කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙරළිකාරී කණ්ඩායමක් බවට පත් කිරීම ආසන්නතම සැලසුම බව නව කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ඔස්ට්‍රේලියානු ජාතික ජෙමී සිඩ්න්ස් මහතා පැවසීය.
ඒ සඳහා මේ මාසයේ පැවැත්වෙන බංග්ලාදේශය සමඟ විස්සයි20 තරගාවලිය හා එක්දින තරගාවලිය හොඳ පෙරහුරුවක් බව සිඩ්න්ස් මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ කාන්තා ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව සීසීසී ක්‍රීඩාංගණයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ජෙමී සිඩ්න්ස් මහතා 1988 සිට ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළ අතර, දකුණු ඔස්ට්‍රේලියා හා වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායම්වලට බොහෝ කලක් ක්‍රීඩා කළේය. නායක රංජන් මඩුගල්ලේගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල 1988දී ඔස්ට්‍රේලියාවේ කළ සංචාරයේදී වික්ටෝරියා ප්‍රාන්ත පිල සමඟ පැවති සිව්දින ක්‍රිකට් තරගයේදී ජෙමී සිඩ්න්ස් 4 පිතිකරු ලෙස පිටියට පිවිස ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 103ක් ලබා ගැනීමට සමත් විය.
පසුව ඔහු පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ අතර, 2007 වසරේ සිට 2012 වසර දක්වා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය. එමෙන්ම, දකුණු ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද ඔහු කලක් කටයුතු කළ අතර, අනතුරුව රොමේෂ් රත්නායක මහතාගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු ධුරය භාර ගත්තේය.
“ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු කුසලතා හා දක්ෂතා හැකි පමණ ඉදිරියට ගන්න මා බලාපොරොත්තු වෙනවා. හොඳ ක්‍රීඩිකාවන් පිරිසක් මෙන්ම හොඳ සහය කාර්ය මණ්ඩලයක් මට සිටිනවා. අපි කැපවී පුහුණුවීම් කළොත් හොඳ ගමනක් යන්න පුළුවන්. පුළුවන් තරම් කුසලතා ඉස්මතු කර ගැනීමයි වැදගත්. ළඟ එන බංග්ලාදේශ සංචාරය අපට වැදගත්. එයින් අපට හැකියාව ලැබෙනවා ලෝක කුසලානයට යන කණ්ඩායම නිශ්චිතව හඳුනා ගන්න” සිඩ්න්ස් මහතා පැවසීය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු තවත් අවුරුදු 2ක් පමණ ක්‍රීඩා කරයි කියා මා සිතනවා. ඇය සමඟ මා කතා කළා. එයා කණ්ඩායමේ නැති දවසක ඒ අඩුව පුරවන්නේ කොහොමද කියන එක අභියෝගයක්. ඒකට මුහුණදෙන වැඩ පිළිවෙළක් හදන්න ඕනේ. අපේ කණ්ඩායමට තරග ජයග්‍රහණ අවම වන්නේ හතරේ පහරවල් එල්ල කිරීම අඩු වූ විටයි. කාන්තා ක්රිකට්වලදී හතරේ හයේ පහරවල් හරිම වැදගත්. එහෙම වුණොත් තරග දිනන්න අපහසු නෑ. එක තැනකට දඟපන්දු යොමු කරලා ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් මෙල්ල කරන්නත් බෑ. විවිධත්වය සමඟ සියලු අංශවලින් අපි සන්නද්ධ විය යුතුයි” සිඩ්න්ස් මහතා අවධාරණය කළේය.
