19න් පහළ කාන්තා සංචිතයේ 12ක්ම කොළඹින් පිටතින්

චමුදි ප්‍රබෝධාගේ නායකත්වය යටතේ තුන්කොන් ක්‍රිකට් තරගාවලි ද්විත්වයකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (3) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යයි.

එහිදී සත්කාරක ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සමඟ එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ සහභාගිත්වයෙන් තුන්කොන් එක්දින තරගාවලියක් සහ විස්සයි20 තරගාවලියක් පැවැත්වේ. මේ තරගාවලිය තරග රටා ද්විත්වයටම අවසන් මහා තරග ඇතුළත් කර නැත.

එක්දින තරගාවලිය මේ මස 6 වැනිදා ආරම්භ වන අතර, ශ්‍රී ලංකා කාන්තා පිල 7 වැනිදා එංගලන්තයට එරෙහිවත්, 8 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිවත් එක්දින තරග සඳහා බ්‍රිස්බේන් පිටියට පිවිසෙයි.

මේ මස 11 වැනිදා ආරම්භ වන විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිල 12 වැනිදා එංගලන්තයට, 13දා ඔස්ට්‍රේලියාවට එරෙහිව ගෝල්ඩ් කෝස්ට්හිදී තරග වදින අතර, යළිත් 17 වැනිදා සහ 18 වැනිදා පිළිවෙළින් එංගලන්තයට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බේන්හිදී විස්සයි20 තරගවලට එක් වෙයි.

15 දෙනකුගෙන් සමන්විත මේ සංචිතයට මොනරාගල පඤ්ඤානන්ද විදුහලේ බිහි වූ ක්‍රීඩිකාවක වන 16 හැවිරිදි චමුදි නායකත්වය දෙන ප්‍රථම අවස්ථාව මෙයයි. එමෙන්ම කොළඹින් පිට ප්‍රදේශයක ක්‍රීඩිකාවක් මේ කණ්ඩායමට නායකත්වය දෙන පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.

මෙවර සංචිතයට යොවුන් කණ්ඩායමේ හිටපු නායිකා මනුදි නානායක්කාර සහ උප නායිකා රශ්මිකා සෙව්වන්දි ජාතික කණ්ඩායම නියෝජනය කරන බැවින් මේ සංචිතයට එක්ව නැත.

මෙවර සංචිතයට කොළඹින් පිට ප්‍රදේශවලින් ක්‍රීඩිකාවන් 12 දෙනකු එක්කර තිබීම කැපී පෙනෙන අතර කොළඹින් ක්‍රීඩිකාවන් තිදෙනෙක් පමණක් එක්ව සිටිති. ඒ අනුව රත්ගම දේවපතිරාජ විදුහලෙන් ක්‍රීඩිකාවන් තිදෙනෙක් සමඟ ත්‍රිරිකුණාමලය, අම්පාර, කුරුණෑගල, මහනුවර, මාතර, පුත්තලම සහ පොලොන්නරුවෙන් ක්‍රීඩිකාවන් සංචිතයට එක් කර තිබේ.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා සංචිතය: චමුදි ප්‍රබෝධා (නායිකාව – මොනරාගල පඤ්ඤාඥානන්ද ම. වි), විමෝක්ෂා බලසූරිය (ත්‍රිකුණාමලය සිංහල ම.වි.), සංජනා කාවින්දි, නෙතගි ඉසුරංජලි සහ ශෂිනි ගිම්හානි (රත්ගම දේවපතිරාජ වි.), උමයංගනා පීරිස් (මොරටුව වේල්ස් කුමරි), ප්‍රමුදි මෙත්සරා (අම්පාර උහන ජාතික පාසල), ලිමන්සා තිලකරත්න, නෙත්මි උපේක්ෂා (කුරුණෑගල මලියදේව බාලිකා), අසේනි තලගුනේ (මහනුවර මහමායා බාලිකා), චමෝදි හේරත් (මාතර අනුර විද්‍යාලය), ධනෝද්‍යා සෙව්මිණි (පුත්තලම අනමඩුව ම.ම.වි.), යේශාලි ජිතාරා (නුගේගොඩ අනූලා වි.), ඩාරියා දිසානායක (කොළඹ කාන්තා විද්‍යාලය), ශයනි තෙන්නකෝන් (පොලොන්නරුව රාජකීය විද්‍යාලය).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *