ඉන්දියාව 3 වැනි වරටත් 20-20 ලෝක ශුරයන් වෙයි

නවසීලන්තය පරාජය කරමින් 96ක දැවැන්ත ජයක් හිමිකරගත් ඉන්දියා කණ්ඩායම,තවත් වසර දෙකක කාලයක් සඳහා 20යි 20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැළඳීමට ඊයේ රාත්‍රී සමත් වුණා.

අඛණ්ඩව දෙවරක් 20යි 20 ලෝක ශූරයින් වූ ලොව එක කණ්ඩායම ලෙස වාර්තා අතරට එක්වූ ඉන්දියා කණ්ඩායම, තෙවරක් 20යි 20 ලෝක ශූරයින් වූ ලොව එකම කණ්ඩායම ලෙසටද ඉතිහාසයට එක්වුණා.
දින 30ක් පුරා පැවති තරග 54කින් පසු ඉදිරි වසර 2ක කාලයට 20යි 20 ලෝක ශූරයින් ලෙස කිරුළු පළදින කණ්ඩායම තෝරා ගැනීම සඳහා මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වුණේ ලොව විශාලතම ක්‍රීඩාංගණය ලෙස සැලකෙන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීයි.

මෙවර ලෝක කුසලාන අවසන් මහා සටනේ ප්‍රතිමල්ලවයින් වීමට සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය සුදුසුකම් ලබා සිටියා.

තරග ආරම්භයට පෙර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී සුප්‍රසිද්ධ ගායක රිකී මාර්ටින්ගේ සහභාගීත්වයෙන් විචිත්‍රවත් කෙටි උත්සවයක් පැවැත්වුණා.

එක්ලක්ෂ විසිදහසකට ආසන්න ප්‍රෙක්ෂක පිරිසක් ඉදිරියේ උරගා බැලූ තීරණාත්මක කාසියේ වාසිය නවසීලන්තය ජයගනිද්දී නවසීලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදුන්නා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් වන සංජු සැම්සන් සහ අභිෂේක් ශර්මා නවසීලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් පළමු කඩුල්ල සඳහා පන්දු 43කින් ලකුණු 98ක සබඳතාවක් ගොඩනැගුවා.

තරගාවලිය පුරා අසාර්ථක වූ අභිෂේක් ෂර්මා අවශ්‍යම මොහොතේ ලකුණු අතරට පිවිසෙමින් පන්දු 18කින් අර්ධ ශතකයක් රැස්කළේ මෙවර ලෝක කුසලානයේ වෙගවත්ම අර්ධ ශතකයේ හිමිකරුවා බවට පත්වෙමින්.

අභිෂේක්ගේ දැවී යාමෙන් අනතුරුව සංජු සැම්සන් සමග පිටියට එක්වූ ඉශාන් කිෂන් දෙවන කඩුල්ලට පන්දු 48කින් ලකුණු 105ක සබඳතාවක් ගොඩනගමින් නවසීලන්ත‍යෙන් ලෝක කුසලාන බලාපොරොත්තුව තවදුරටත් ඈත් කිරීමට සමත් වුණා.

සංජු සැම්සන් පන්දු 46කදී ලකුණු 89ක් රැස්කළ අතර ඉෂාන් කිෂන් පන්දු 25කදී ලකුණු 54යි.

ඉන්දියා ඉනිමේ 16 වැනි පන්දුවාරයේදී කඩුලු 3ක් දවාගත් ජිමී නීෂම් නවසීලන්තය නැවතත් තරගය වෙත රැගෙන ඒමට උත්සාහ දැරුවද නියමිත පන්දුවාර 20 අවසන් වනවිට ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 255ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කරමින්.

20යි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයකදී කණ්ඩායම රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි.

ලකුණු 256ක අති දැවැන්ත ඉලක්කයක් හඹායමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ සාර්ථකම ආරම්භක පිතිකරු වූ ෆින් ඇලන් ලකුණු 31ක් ලෙස සටහන් වෙද්දි දැවීයාමත් සමග නවසීලන්ත ඉනිම බිඳ වැටීම ඇරඹුණා.

අක්ෂාර් පටෙල්ගේ සහ ජස්ප්‍රිත් බුම්‍රාගේ පන්දු යැවීම හමුවේ අසරණ වූ නවසීලන්ත පිතිකරුවන් බහුතරයක් අසාර්ථක වෙද්දී ටිම් සයිෆර්ට් සහ නායක මිචෙල් සැන්ට්නර් පමණක් සටනක ලබාදීමට සමත් වුණා.

එම සටන නවසීලන්තයට ලෝක කුසලානය හිමිකර දීමට ප්‍රමාණවත් නොවූ අතර නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 159ක් පමණයි.

ලොව සාර්ථකම 20යි 20 කණ්ඩායම තමන් බව නැවත වතාවක් සනාථ කළ සූර්‍යකුමාර් යාදව් ප්‍රමුඛ ඉන්දියා කණ්ඩායම අඛණ්ඩව දෙවරටත් 20යි 20 ලෝක ශූරයින් වූ ලොව පළමු කණ්ඩායම බවට පත්වුණා.

එමෙන්ම 20යි 20 ලෝක කුසලාන 3ක් දිනූ ලොව එකම කණ්ඩායම වන්නේද ඉන්දියා කණ්ඩායමයි.

අවසන් මහා තරගයේ වීරයා සම්මානය ජස්ප්‍රිත් බුම්‍රා හිමිකර ගනිද්දී තරගාවලියේ වීරයා සම්මනය සංජු සැම්සන් හිමිකර ගත්තා.

ඒ අනුව නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට රැස්වූ එක්ලක්ෂ විසිදහසකට අධික ප්‍රෙක්ෂකයන්ට උපරිම වින්දනයක් ලබාදුන් ඉන්දියා කණ්ඩායම වසර 2ක් ඇතුළත අඛණ්ඩව දෙවන වරටත් 20යි 20 ලෝක කුසලානය සිය මව් රටට හිමිකර දුන්නා.

ඉන්දීය කණ්ඩායම ලද ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දීය ක්‍රිඩකයින් සිය සතුට පවුලේ සමාජිකයන් සමඟ සැමරුවේ මෙලෙසින්.

මේ අතර ඉන්දීය කණ්ඩායම 20යි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඉන්දීය ක්‍රීඩාලෝලීන් ප්‍ර දේශ රැසක සැමරුම් උත්සව සංවිධාන කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *