පන්දුවාර 20 ලෝක කුසලාන ඉතිහාසයේ දුටු සුපිරිතම අවසන් පූර්ව තරගයකින් පසු මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සත්කාරක ඉන්දියා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගයේදී දැඩි සටනකින් අනතුරුව එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින්.
හැටදහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් රැස්ව සිටි මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති දෙවන අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දියා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස අභිෂේක් ෂර්මා ලකුණු 9කට දැවී ගියේ ලකුණු පුවරුව 20ක් ලෙස සටහන්ව තිබියදීයි.
අනතුරුව ඉන්දීය ලකුණු පුවරුව 24ක් ලෙස සටහන්ව තිබියදී, ඒ වනවිට ලකුණු 15ක් රැස්කරගෙන සිටි සංජු සැම්සන් ලබාදුන් උඩපන්දුවක් එංගලන්ත නායක හැරී බෘෘක් අතින් ගිලිහී ගියා.
එම අවස්ථාවෙන් උපරිම ප්‍රෙයා්ජන ගත් සංජු සැම්සන් එංගලන්ත පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්කළේ පන්දු 42කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 89ක් රැස් කරමින්.
ප්‍රෙව්ගකාරී ඉනිමක් ක්‍රිඩා කළ ශිවම් ඩුබේ පන්දු 25කදී ලකුණු 43ක් රැස්කළා.
ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 253ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වූයේ 20යි 20 ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ලකුණු 254ක දැවැන්ත ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වූ අතර ලකුණු පුවරුව 95ක් ලෙස සටහන් වෙද්දී එංගලන්ත පිතිකරුවන් සිව්දෙනෙක් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දියා පන්දුයවන්නන් සමත් වුණා.
ඒ වනවිට තරගයේ වැඩිවාසි ඉන්දියාවට හිමිව තිබුණත් පහසුවෙන් සටන අත්හැරීමට අකමැති වූ 22 හැවිරිදි ක්‍රීඩක ජේකබ් බෙතල් පස්වන කඩුල්ලට විල් ජැක්ස් සමග එක්ව පන්දු 36කදී ලකුණු 77ක සබඳතාවක් ගොඩනැගුවේ නැවතත් එංගලන්ත ප්‍රේක්ෂකයින්ට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් ඇතිකරමින්.
පන්දු 20කදී ලකුණු 35ක් රැස්කරගෙන සිටි විල් ජැක්ස්ගේ ඉනිම නිමාවූයේ අක්ෂාර් පටේල්ගේ සහ ශිවම් ඩුබේගේ සුසංයෝගයෙන් රැකගත් සුපිරි උඩපන්දුවත් සමගයි.
පන්දුවාර 17ක් අවසන් වනවිට කඩුළු 5ක් දැවී ලකුණු 209ක් රැස්කරගෙන ජයග්‍රාහී මාවතට පිවිස සිටි එංගලන්තයට අවසන් පන්දුවාර 3දී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 45ක් පමණයි.
නමුත් ජස්ප්‍රිත් බුම්රා 18වැනි පන්දුවාරයේදී ලකුණු 6ක් සහ හර්දික් පාණ්ඩ්‍යා 19වැනි පන්දුවාරයේදී ලකුණු 9ක් පමණක් ලබාදීම හේතුවෙන් නැවතත් තරගයේ ජයග්‍රහණය ඉන්දියාව දෙසට දෝලනය වුණා.
එංගලන්තය වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ යොවුන් ක්‍රීඩක ජේකබ් බෙතල් පන්දු 48කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 105ක් රැස්කළේ ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරගයකදී පිතිකරුවෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.
ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී එංගලන්තය ලකුණු 30ක් රැස්කරගත යුතුවූ අතර එතෙක් සුපිරි පිතිහරඹයක නිරත වෙමින් සිටි ජේකබ් බෙතල් දුවද්දී දැවී ගියා.
කෙසේ වෙතත් තරගයේ අවසන් පන්දුව දක්වා සටන්කළ ජොෆ්රා ආචර් ඉනිමේ අවසන් පන්දු 3ට හයේ පහර 3ක් එල්ල කළත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ.
ඒ අනුව එංගලන්ත ලකුණු පුවරුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 246ක් ලෙස සටහන් වුණා.
මෙම තරගයේදී කණ්ඩායම් දෙකම හයේ පහර 34ක් වාර්තා කළ අතර ලෝක කුසලාන තරගයකදී වාර්තාවූ වැඩිම හයේ පහර සංඛ්‍යාව එයයි.
ඒ අනුව වත්මන් ලෝක ශූරයන් වන ඉන්දියාව අඛණ්ඩව දෙවන වරටත් 20යි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනිමට සමත්වුණා.
ඉන්දියාව පන්දුවාර 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් සිව්වැනි අවස්ථාව මෙයයි.
මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ඉරිදා ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි.
