මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්තාන කණ්ඩායම අපොහොසත්වීම හේතුවෙන් ලෝක කුසලානයේ පාකිස්තාන සංචිතයේ සෑම ක්‍රීඩකයෙකුටම දඩයක් නියම කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලෝක කුසලාන සංචිතයේ එක් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් පාකිස්තාන රුපියල් මිලියන 5 බැගින් දඩයක් අයකර ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තානය පිළිබඳ බොහෝදෙනෙක්ගේ අවධානය යොමුවූයේ ඔවුන් ඉන්දියාව සමග පැවැත්වීමට සැලසුම් කර තිබූ මූලික වටයේ තරගය වර්ජනය කිරීමට තීරණය කිරිමත් සමගයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ තවත් පාර්ශව කිහිපයකගේ මැදිහත් වීමෙන් පසු පාකිස්තාන කණ්ඩායම ඉන්දියාව සමග තරගයට ක්‍රීඩා කළ නමුත් ඔවුන් එහිදී ඉන්දියාව හමුවේ ලකුණු 61ක දරුණු පරාජයක් ලැබුවා.
එම පරාජයත් සමග පාකිස්තාන ක්‍රීඩකයන්ට දඩ මුදලක් නියම කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් පසුව පැවති සාකච්ඡාවලින් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ පාකිස්තාන කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වුවහොත් එම දඩ මුදලෙන් ක්‍රීඩකයන්ව නිදහස් කිරිමටයි.
පාකිස්තාන කණ්ඩායම තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබුවත්, ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හැකිවූයේ නැහැ.
ඒ අනුව පාකිස්තානයට ලෝක කුසලානය අවසන් පූර්ව වටයකට, අඛණ්ඩව සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ සිව්වන අවස්ථාව මෙයයි.
මේ තත්ත්වයත් සමග මෙවර පාකිස්තාන ලෝක කුසලාන සංචිතයේ සිටි සෑම ක්‍රීඩකයෙක්ගෙන්ම රුපියල් මිලියන 5 බැගින් දඩයක් අයකර ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
එක් ක්‍රීඩකයෙක්ගෙන් අයකෙරෙන එම දඩ මුදල ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 56කට ආසන්නයි.
ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිලිබඳ ගැටලු මතුවූ අවස්ථා රැසකදී පාකිස්තාන ක්‍රිකට් ආයතනය මෙලෙස දැඩි තීරණවලට එළඹී තිබෙනවා.
පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය වීමෙන් පසු පාකිස්තාන ක්‍රීඩකයන්ට විදෙස් 20යි 20 ලීග් සඳහා සහභාගි වීමට අනුමැතිය ලබා නොදීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කළා.
