මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගන්නට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ සුපිරි 8 දෙනාගේ තරග වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 5කින් ජය ගැනීමත් සමඟයි.
මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරගවටයේ අවසන් තරගය ඊයේ පැවැත්වුණේ සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.
තරගය ඉන්දියාවට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තීරණාත්මක එකක් වුණේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේ එම කණ්ඩායම් දෙකෙන් කවරෙකුද යන්න මෙම තරගයේ ප්‍රතිඵලය මත තීරණය වීම හේතුවෙන්.
කොල්කටා හී ඊඩ්න් ගාඩ්න් හී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ගේ තීරණය වූයේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව කොදෙව් ඉනිම ෂෙයි හෝප් සමඟින් රොස්ටන් චේස් ඇරඹු අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 68ක සබඳතාවක් ගොඩ නැගුවා.
ෂෙයි හෝප් ලකුණු 32ක් සහ රොස්ටන් චේස් ලකුණු 40ක් ලබා ගත්තා.
කෙසේ වෙතත් කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණූ 119ක් තුල බිඳවැටුණත් 5වැනි කඩුල්ලට පන්දු 35කින් නොදැවුණු ලකුණු 76ක සබඳතාවක් ගොඩ නගන්නට රොව්මන් පවෙල් සහ ජේසන් හොල්ඩර් සමත් වුණා.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමාකළේ කඩුලු 4ක් දැවී ලකුණු 195ක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.
ජේසන් හොල්ඩර් නොදැවී ලකුණු 37ක් සහ රොව්මන් පවෙල් නොදැවී ලකුණු 34ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ජස්ප්‍රිත් බුම්රා කඩුලු 2ක් බිඳහෙලුවා.
ලකුණූ 196ක ඉලක්කයක් හඹායාම සඳහා ඉන්දීය ඉනිම සංජු සැම්සන් සමඟින් අභිෂේක් ශර්මා ආරම්භ කළා.
කෙසේ වෙතත් ඉන්දීය පළමු කඩුල්ල ලෙස ලකුණු 10ක් ලබාගෙන සිටි අභිෂේක් ශර්මාව දවා ගන්නට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.
ඉෂාන් කිෂාන් ලකුණු 10කට සහ නායක සූර්යකුමාර් යාදව්ව ලකුණු 18කට දවාගත් කොදෙව් ක්‍රීඩකයින් තරගයට ප්‍රභල ලෙද අවතීර්ණ වුණා.
කෙසේ වෙතත් එක් අන්තයක සිට ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකළ සංජු සැම්සන් නොදැවි ලකුණු 97ක් ලබාගනිමින් ඉන්දීය කණ්ඩායම සුරැකිව අවසන් පූර්ව වටය සඳහා රැගෙන ගියා.
ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී සිය ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියා.
ඒ අනුව මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරගවටයේ පළමු කාණ්ඩයෙන් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගත්තා.
මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය එළැඹෙන බදාදා නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව සමඟ කොල්කටා හි පැවැත්වීමට නියමිතයි.
දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව සහ එංගලන්ත එළැඹෙන බ්‍රහස්පතින්දා මුම්බායි හි තරග වැදීමට නියමිතයි.
අවසන් පූර්ව වටයේ ජයහිමි කරගන්නා කණ්ඩායම් දෙක මාර්තු 8වැනි ඉරිදා ආහාමදාබාද් හී නරේන්ද්‍ර මෝදී ක්‍රිඩාංගණයේදී තරගබිමට පිවිසිමට නියමිතයි.
