කුසල් මෙන්ඩිස්ගේ සහ කමිඳු මෙන්ඩිස් අගනා පිතිකරණයත්, වනිඳු හසරංගගේ සහ මහිෂ් තීක්ෂණගේ සුපිරි පන්දු යැවීමත් හමුවේ මෙවර ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.
ඒ මුලික වටයේ අයර්ලන්තය සමඟ පැවති තරගය ලකුණු 20කින් ජය ගැනීමත් සමඟයි.
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය ඊයේ තරග බිමට පිවිසියේ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ආර්. ප්‍රෙමදාස ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගය මෙයවන අතර තරගය නැරඹීම සඳහා 25,000කට ආසන්න ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වී සිටීම කැපී පෙනුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන්ට නොහැකී වූ අතර ශ්‍රී ලංකා පිලේ පළමු කඩුළු 4 ලකුණු 86ක් තුළ දැවී ගියේ ප්‍රේක්ෂකාගාරය වරින්වර තැතිගන්වමින්.
කෙසේවෙතත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් බිඳවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවේ පන්දු 29කදී ලකුණු 67ක අගනා සබඳතාවක් ගොඩනගමින්.
මෙන්ඩිස් දෙපළගේ සබඳතාව අතරතුර අයර්ලන්ත පන්දු යවන්නන් අතින් උඩපන්දු කිහිපයක්ම ගිලිහී යාම කැපී පෙනුණා.
වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ කමිඳු මෙන්ඩිස් පන්දු 19කදී 6 පහර දෙකක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 44ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 43කදී නොදැවී ලකුණු 53යි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 163ක් රැස්කළා.
පන්දු යැවීමේදී බැරී මැකාති සහ ජෝර්ජ් ඩොක්‍රල් කඩුලු 2 බැගින් දවාගත්තා.
ලකුණු 164ක දැවැන්ත ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම එක් අවස්ථාවක පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 105ක් රැස්කරගෙන ඉතා ප්‍රබල ස්ථානයක පසුවුණා.
නමුත් වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ අයර්ලන්ත ඉනිම සුණුවිසුණු කළේ අයර්ලන්ත පිලේ ඉතිරි කඩුලු 8 ලකුණු 38ක් තුළ බිඳ හෙලමින්.
පන්දු යැවීමේදී මහීෂ් සහ වනිඳු කඩුලු 3 බැගින් දවාගත් අතර මතීෂ කඩුලු 2ක් දවාගත්තා.
ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5කදී සියළුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 143ක් පමණයි.
ඊයේ තරගයේ පන්දු යවන අතරතුර වනිඳු හසරංග පාදයේ ආබාධයකට ලක්වූ අතර මේ වනවිට පරීක්ෂණයක් සඳහා යොමුකර ඇතැයි වාර්තාවනවා.
ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය එළැඹෙන 12 වැනිදා ඕමානය සමඟ පැවැත්වෙන අතර තරගය පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතයි.
