වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ මුලික තරග වටයේ අයර්ලන්තය සමඟ පැවති තරගය ලකුණු 106කින් ජය ගැනීමත් සමඟයි.
තරගය පැවැත්වුණේ නැමීබියාවේදියි.
A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් නායක විමත් දින්සර පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 267ක් ලබාගත්තා.
එහිදි නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ විමත් දින්සර ලකුණු 95ක් ලබා ගත්තා.
මීට අමතරව චාමික හීනැටිගල නොදැවී ලකුණු 51ක් සහ කවීජ ගමගේ ලකුණු 49ක් රැස්කළා.
පන්දු යැවීමේදී ඔලිවර් රිලී කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ අයර්ලන්ත යොවුන් කණ්ඩායම පන්දුවාර 40යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 161ක් පමණයි.
අයර්ලන්ත ඉනිමේ වැඩි ලකුණු ලාභියා වු කැලම් ආම්ස්ට්‍රෝං ලකුණු 39යි.
අයර්ලන්ත ඉනිම සුනුවිසුණු කළ දුල්නෙත් සිගේරා ලකුණු 19කට කඩුලු 4ක් දවා ගත්තා.
මීට අමරතව රසිත නිම්සර ද කඩලු 3ක් බිඳ හෙලුවා.
ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගී වු තරග දෙකම ජයගෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මුලික වටයේ සහභාගීවන මීළඟ තරගය එළඹෙන 23 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.
