කාන්තා සුපර් ලීග් තරගාවලියේ ශූරතාව ග්‍රීන් කණ්ඩායමට

කාන්තා ජාතික සුපර් ලීග් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට හසිනි පෙරේරා නායකත්වය දැරූ ග්‍රීන් කණ්ඩායම
අද සමත්වුණා.

ඒ අවසන් මහා තරගයේදී හර්ෂිතා සමරවික්‍රම නායකත්වය දැරූ බ්ලූස් කණ්ඩායම පරාජය කරමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ කාන්තා ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ හසිනි පෙරේරා නායකත්වය දැරූ ග්‍රීන් කණ්ඩායම සහ හර්ෂිතා සමරවික්‍රම නායකත්වය දැරූ බ්ලූස් කණ්ඩායම අතරයි.

මෙහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් බ්ලූස් කණ්ඩායම ලකුණු 95කට සීමා කිරීමට ග්‍රීන් කණ්ඩායම සමත්වුණා.

චමරි අතපත්තු ලකුණු 51ක් රැස් කළ අතර බ්ලූස් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස්දෙනෙකුම ලකුණු නොලබා දැවී යාම කැපී පෙනුනා.

පන්දුයැවීමේදී ඕෂධි රණසිංහ ලකුණු 17 ට කඩුලු හතරක් දවා ගත්තා.

ලකුණු 96ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ග්‍රීන් කණ්ඩායම පන්දුවාර 18යි පන්දුවක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

නිලක්ෂිකා සිල්වා ලකුණු තිස් හයයි.

ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කළ හසිනි පෙරේරා ප්‍රමුඛ ග්‍රීන් කණ්ඩායම මෙවර කාන්තා ජාතික සුපර් ලීග් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත්වුණා.

තරගාවලියේ දක්ෂතම පිතිකාරිනය ලෙස රෙඩ් කණ්ඩායමේ චමෝදි සුබෝදා මුණසිංහ සම්මාන දිනා ගත් අතර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය ලෙස ග්‍රින් කණ්ඩායමේ නායිකා හසිනි පෙරේරා සම්මාන දිනා ගත්තා.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ග්‍රින් කණ්ඩායමේ ඕෂධී රණසිංහයි.

තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාවට හිමි සම්මානය බ්ලූස් කණ්ඩායමේ සත්‍යා සන්දීපනී දිනා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *